මුදල් ඇමති නමින් ප්‍රචාරයවන ලිපිය ගැන විමර්ශනයක් | දිනමිණ


 

මුදල් ඇමති නමින් ප්‍රචාරයවන ලිපිය ගැන විමර්ශනයක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශුද්ධෝත්තම පාප් වහන්සේ නමට වතිකානය වෙත යවන ලද ලිපියක් මේදිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය සහමුලින්ම ව්‍යාජ ලේඛනයක් බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි. 
 
අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන්නැයි ලිපියක් යොමු කරමින් අද(07) ඉල්ලීමක් සිදු කර ඇත. 
 
එවැනි ලිපියක් අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් කිසිදු හේතුවක් මත නිකුත් කර නොමැත. අමාත්‍යවරයා කිසිවිටෙකත් රාජකාරී ලිපි යැවීමේ දී පාර්ලිමේන්තු ලිපි ශීර්ෂ භාවිතා නොකරන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි සකස් කිරීමේ දී සිංහල භාෂායෙන් අත්සන යෙදීම සිදු නොකරන බවද අවධාරණය කර තිබේ.
 
අදාළ ව්‍යාජ ලිපිය අමාත්‍යවරයාගේ නමට අගතියක් සිදු කිරීමේ අභිලාශයෙන් හිතාමතා සහ වෛරී සහගත අරමුණින් යුතු කිසිවකු විසින් කූට ලෙස සකස් කර ප්‍රචාරය කරන්නට ඇතැයි විශ්වාස කරන බව හල්ලොලුව මහතා යොමු කර ඇති ලිපියේ දැක්වේ. 
 
එබැවින් මේ පිළිබඳ වහාම විධිමත් පරීක්‍ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් කිරීමටත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. 
 

නව අදහස දක්වන්න