තේ සඳහා ගෝලීය ඉල්ලුම ඉහළට | දිනමිණ


 

තේ සඳහා ගෝලීය ඉල්ලුම ඉහළට

ගෝලීය තේ අලෙවිකරණ වැඩසටහන රුසියාව සහ යුක්රේනය තුළ අගෝස්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මේ වසරේදී චීනයේ හා ජපානයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

විධිමත් ප්‍රචාරණ කටයුතු සඳහා ලංකා තේ පිළිබඳ ප්‍රචාරණය වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇත. පසුගිය වසරේ මාර්තු මාසයේදී තේ මණ්ඩලය විසින් රටවල් 12 ක් පුරා ලංකා තේ ප්‍රවර්ධනය කිරීමට ඩෙන්සූ ග්‍රාන්ට් සමාගම සමඟ මාධ්‍යය කතිකාව සඳහා රැපියල් මිලියන 219 ක් වෙන් කර ඇත.

ශ්‍රී ලංකාවේ තේ සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම අරමුණු කරගනිමින් රටවල් හතරක දියත් කරන නව වැඩපිළිවෙළ පිළිබඳ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. තේ මණ්ඩලයේ අනුමැතිය සඳහා තේ පර්යේෂණ මණ්ඩලය පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

ලෝකයේ විශාලතම හරිත තේ නිෂ්පාදකයා චීනය වන නමුත් ලංකාවේ කලු තේ සඳහා විශාල ඉල්ලුමක් පවතී. ඉතා කෙටි කාලයකදී ලංකා තේවල ප්‍රමුඛතම පාරිභෝගිකයන් බවට චීනය හා ජපානය පත්කර ගැනීම අරමුණ වන අතර දැනට නව වෙ‍ළෙඳපොළ ගවේෂණය කෙරෙමින් පවතී.

මේ වනවිට ශ්‍රී ලංකාව හා කෙන්යාව යන රටවල් ලෝක වෙළෙඳපොලේ තුන්වන ස්ථානය සඳහා සටන් කරමින් සිටියි. කෙන්යාව සමඟ සසඳන විට ලංකාවේ නිෂ්පාදන පිරිවැය ඉහළ අගයක් ගැනීම ,කෙන්යාවේ සේවකයකුට දිනකට ඩොලර් 1 බැගින් ගෙවිය යුතු අතර ලංකාවේ සේවකයකුට ඩොලර් 6 ක මුදලක් ගෙවීමට සිදු වීම , ලංකාවේ භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා තේ කැපීම, කප්පාදු කිරීම, නිශ්පාදනය කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන් භාවිතා කරන තාක්ෂණය බොහෝ සෙයින් වෙනස් වීම යන අභියෝග වලට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වී ඇත. වර්තමානයේ ලංකාවේ විශාලතම තේ ගැනුම්කරුවකු වන්නේ ඉරානයයි.

තේ කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා තේ කර්මාන්තයේ පර්යේෂණ පහසුකම් ප්‍රමාණවත් නොවූවත් තේ පර්යේෂණ ආයතනය (TRI) තවදුරටත් සංවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ තේ ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරයි. බහුජාතික සමාගම් පර්යේෂණ සඳහා මිලියන ගණනක් වැය කරන නමුත් ශ්‍රී ලංකාව පර්යේෂණ සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් පමණ වෙන් කරයි. සංවර්ධනය වෙමින් පවතින රටකට මෙය ප්‍රමාණවත් නොවීම ද ගැටලුවකි.

මෑත කාලය තුළ රජය විසින් පර්යේෂණ උපකරණ සැපයීමට සහ පුහුණු පහසුකම් සැපයීමට මූලික පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 500 ක් ආයෝජනය කර ඇත. එවන් ප්‍රතිපාදන මඟින් තේ කර්මාන්තය දියුණු කිරීමට බලාපොරොත්තු වේ.

පමුදිනි සමරනායක

නව අදහස දක්වන්න