ස්වදේශී කොහොඹ මාතලේ අළු විහාරය ආලෝකමත් කරයි | දිනමිණ


 

ස්වදේශී කොහොඹ මාතලේ අළු විහාරය ආලෝකමත් කරයි

ශාකසාර සනීපාරක්‍ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථානයක් වන මාතලේ අළු විහාරය වෙසක් පෝය නිමිත්තෙන් පසුගිය දා ආලෝකමත් කෙරුණි. මේ ආලෝක පූජාව එම සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන මහත්මියගේ සංකල්පයක් මත ඇරැඹුණු ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ යටතේ පැවැත්වූවකි.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික අළු විහාරය ක්‍රිස්තු පූර්ව 3වැනි සියවස දක්වා පැතිරුණු අතීතයකට හිමිකම් කියන්නකි. ක්‍රිස්තු පූර්ව 1වැනි සියවසේ දී වලගම්බා රජ සමයේ දී කුන්තගතතිස්ස හිමියන්ගේ නායකත්වය යටතේ විද්වත් භික්ෂූන් වහන්සේලා 500කගේ සහභාගීත්වයෙන් ප්‍රථම ත්‍රිපිටක සංගායනාව පැවැත් වූයේද මේ ඓතිහාසික මාතලේ ශෛලමය අළු විහාරයේදීය.

මාතලේ අළු විහාරයේ පැවැති ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය පිළිබඳව සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මහත්මිය පැවැසුවේ, ආලෝක පූජා සත්කාරය තුළින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සම්ප්‍රදායික උරුමයන් හා සාරධර්ම රැක ගැනීම දේශීය සමාගමක් වන ස්වදේශී සමාගමේ යුතුකමක් වන බවය. තම සමාගම විසින් මෙලෙස පූජනීය ස්ථාන ආලෝකමත් කරන්නේ මේ ස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට තම කාර්යයන් වඩාත් පහසුවෙන් කර ගැනීමට හා දේශීය උරුමයන් රැක ගැනීමේ වැදගත්කම මතු පරපුරට වටහාදීම උදෙසා වන බවත්ය.

 

නව අදහස දක්වන්න