සිනමාව රකින මඟක් | දිනමිණ


 

සිනමාව රකින මඟක්

සිංහල සිනමාව මුළු ලෝකයටම ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පමණි. මුළු ලෝකය ජයගත් සම්මානනීය චිත්‍රපට මේ අතර වේ. මේ චිත්‍රපට අප රටේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කිරීම අ‍පගේ සතුටට කරුණකි. එහෙත් එදා සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට හා මෙතෙක් ලංකාවේ නිෂ්පාදනය වූ චිත්‍රපට සියයට පනහක්ම වත්මන් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට නොමැතිවීම කනගාටුවට කරුණකි. සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූ දින සිට මේ දක්වා තිරගත වූ සියලු චිත්‍රපට සංරක්ෂණය ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවීම මෙයට හේතුවකි. නමුත් ඉන්දියාවේ තිරගත වූ මුල් චිත්‍රපටයේ හොඳ තත්ත්වයේ පිටපතක් අදත් අන්තර්ජාලය වෙතින් ලබාගත හැක. ඒ එම චිත්‍රපට අනාගතය ගැන බලා කෙසේ හෝ සංරක්ණය වූ බැවිනි.

නමුත් අපි ආදරයෙන් කතා කරන බොහොමයක් චිත්‍රපට අපට දැන් අහිමි වී ගොස් අවසානය. එදා වාණිජ වශයෙන් සාර්ථක වූ ධීවරයෝ, චණ්ඩියා, සැනසුම කොතැනද, අදට වැඩිය හෙට හොඳයි, අටවෙනි පුදුමය, ඔබ දුටු දා (මෙහි බොහෝ චිත්‍රපට සිනමාස් සමාගමට අයත්) සමඟ තවත් දෙසියකට එහා චිත්‍රපටත් සිනමා ලොවේ ගරු බුහුමන් ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද සංදේශය ‍ගම්පෙරළිය වැනි සිනමා කෘතීන්වල සම්පූර්ණ පිටපත් අද අපට අහිමි වී ඇත.

මෙය සංරක්ෂණ ක්‍රමවේදයේ වරදක් ද? නමුත් නූතන තාක්ෂණය ඔස්සේ ඩී. වී. ඩී. ක්‍රමවේදයෙන් බොහෝ පැරණි සිංහල චිත්‍රපට සංරක්ෂණය වෙමින් පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒ අතරින් සිංහල සිනමාවේ තවත් එක් කඩඉමක් වූ සෙරන්ඩිප් සමාගම විසින් නිෂ්පාදනය කළ රන්මුතුදුව, සාරවිට සිනමාස් සමාගම නිෂ්පාදනය කළ අල්ලපු ගෙදර, වනමෝහිණී, සුජාතා, වීර විජය ඊ. ඒ. පී. එදිරිසිංහ සමාගමේ නිෂ්පාදනය වූ කපටිකම, ලොකුම හිනාව පසු පරම්පරාවට නැරඹීමට හැකි වූ ඩීවීඩී චිත්‍රපට ස්වල්පයකි. මීට අමතරව ඩීවීඩි නිෂ්පාදනය කරන සමාගම් තවමත් ජනප්‍රිය වූ චිත්‍රපට බොහෝමයක් ඩීවීඩී තුළින් ප්‍රේක්ෂකයාට නැරඹීමට අවස්ථාව උදාකර දී ඇත.

ප්‍රේක්ෂකයාට විවෘත ආර්ථිකයත් සමඟ ලෝක සිනමාව නවීන තාක්ෂණයත් එක්ව නිවසට පැමිණ ඇති අවස්ථාවක අන්තර්ජාලය තුළින් ලෝක සිනමාවේ ඕනෑම චිත්‍රපටයක් නැරඹීමට අවස්ථාව තිබෙන කාලයක සිංහල චිත්‍රපට පමණක් සංරක්ෂණය නොවන අවස්ථාවක සිනමා ශාලාවකට ගොස් හොඳම චිත්‍රපට පමණක් නැරඹීමට දැන් ප්‍රේක්ෂකයා පුරුදුව සිටිති. බහුතර ප්‍රේක්ෂකයින් සිංහල චිත්‍රපට නැරඹීමෙන් ඉවත් වී නැත. නමුත් දැන් නිෂ්පාදනය වන බොහෝ සිංහල චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයින් උනන්දු වෙන්නේ නැත. වත්මන් චිත්‍රපටවල අන්තර්ගතය හා චිත්‍රපටවල කතා තේමාවන් එදා නිෂ්පාදනය වූ චිත්‍රපට තරම් නොමැති වීමය. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් මත සිංහල චිත්‍රපට කාලයකදී දක්නට නොලැබෙනු ඇත.

අද සිනමාව විෂයක් ලෙස තෝරාගත් සරසවි සිසුන් හට එදා චිත්‍රපට කවදාවත් දක්නට නොලැබෙන තත්ත්වයක් උදාවිය හැක. මෙලෙස සංරක්ෂණය කරන වැඩපිළිවෙළක් නුදුරේදී නොකෙරෙන බවක් කිව හැකිවේද? බොහෝ සිංහල චිත්‍රපට පෞද්ගලික අංශය විසින් සංරක්ෂණය නොකෙරෙන්න තවත් සිංහල චිත්‍රපට අපට අහිමි වෙන්න තිබිණි.

දැනට ප්‍රදර්ශනය වන සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කර මාස හයකට හෝ පසුව සෑම චිත්‍රපටයකම ඩී. වී. ඩී. පිටපතක් නිකුත් වෙන්නේ නම් කෙසේ කොහේ හෝ එම චිත්‍රපටය සංරක්ෂණය වනු ඇත. චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් අතර සිංහල චිත්‍රපට එකතුවක් ගබඩා කෙරේ. අලුත් නීතිරීති එක්කොට රජයේ අවධානය යොමුකර චිත්‍රපට සංරක්ෂණය වනතුරු හෝ පැරණි, නව චිත්‍රපටවල ඩී. වී. ඩී. නිකුත් කරන්නේ නම් සිංහල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයාට සුබ දෙයක් වනවා ඇත.

විහඟි සඳුනිකා 
කලා අංශය 
ජනාධිපති විදුහල 
මිනුවන්ගොඩ

නව අදහස දක්වන්න