ගිලන් රියක් නැති රෝහලක් | දිනමිණ


 

ගිලන් රියක් නැති රෝහලක්

සෞඛ්‍ය සේවාවේ වැදගත් කරුණු රැසක් ඉටුකරමින් රෝගී ජනතාවට අතිමහත් සහන සලසමින් කාර්යක්ෂම සේවාවක් සලසන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට හිමිවන්නේ මහත් ගෞරවයකි. ඔහුගේ ඉමහත් සේවාව හා කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් පවා එතුමාට ලැබෙන්නේ කීර්ති නාමයකි. මේ වන විට අත්‍යාවශ්‍යම සේවාවන් වන ගිලන්රථ සේවාව කාර්යක්ෂම සේවාවක් ඉටුකිරීමට හැකිවන පරිදි අලුතින් ගිලන්රථ රෝහල්වලට ලබාදෙමින් ඇත. එම ගිලන්රථ අංගසම්පූර්ණ නවීන පහසුකම් සහිත ඒවා බව ඔබතුමාගේ ප්‍රකාශයෙන්ම අසා ඇත.

පල්ලෙබැද්ද රෝහලටත් නව ගිලන් රථයක අඩුවක් තිබේ. දැනට මෙම රෝහලේ ගිලන්රථය ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බවත් 2019-03-16 දින මෙම ගිලන් රථයෙන් රෝගියෙකු ඇඹිලිපිටිය රෝහල කරා ගෙන යන විටදී ක්‍රියා විරහිත වී පැයක් පමණ ප්‍රමාද වුවද පල්ලේබැද්ද රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීමෙන් උඩවලව රෝහලේ ගිලන්රථය යොදා ගැනීමට සිදුවිය. මෙවැනි බරපතළ අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන කරුණ වන්නේ තිබෙන ගිලන් රථය අබලන් වී ඇති බැවිනි. මෙම අවස්ථාවේදී ගිලන්රථය තුළදී මෙම රෝගියාගේ ජීවිතය අනතුරට ලක්වූයේ නම් ඇතිවන අවාසනාවන්ත තත්ත්වය කුමක්ද යන්න ඔබතුමන්ට අවධාරණය කරන්නෙමු.

මෙම රෝහල අංගසම්පූර්ණ රෝහලක් බවට පත්කර දෙන මෙන් ද මීට පෙරද ඉල්ලීම් කර ඇත. එහෙත් මෙතෙක් එවැන්නක් ඉටු වී නොමැති බව ද, නැවතත් අවධාරණය කරන අතරම රත්නපුර දිස්ත්‍රික්කයේ පැරණි රෝහලක් වන මෙම රෝහල ප්‍රදේශ රැසක ගම්මානවල ජනතාවට පිහිටවන මෙම රෝහල අංගසම්පූර්ණ රෝහලක් කර නව ගිලන්රථයක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ඩබ්ලිව්. ඒ. සිරිපාල 
කොස්වැටිය, පල්ලෙබැද්ද

 

නව අදහස දක්වන්න