ඉන්දීය මිතුරා! | දිනමිණ

ඉන්දීය මිතුරා!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය හෙට සිදුවීමට නියමිත ය. ඉන්දීය නායකයා සිය දෙවන පදවිප්‍රාප්තියෙන් පසු ප්‍රථම විදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම විශේෂිත ය. මෝදි මහතා අපේ රට කෙරෙහි දක්වන සැලකිල්ල හා පිළිගැනීම එයින් සනාථ වෙයි. මේ සංචාරය ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාවට වැදගත් යැයි සිතන්නට කරුණු තිබේ. අද වන විට ශ්‍රී ලංකාව පවතින්නේ විදේශීය ආකර්ෂණයෙන් තරමක් දුරස් තැනක ය. සංචාරක කර්මාන්තය පවා සැලැකිය යුතු පසුබෑමකට ලක් වී ඇත. එබඳු අවස්ථාවක මෝදි මහතා අපේ රටට පැමිණීම හැම අතින් ම වැදගත් ය.

නිල සංචාරයේ වැදගත් ම අවස්ථාව හැටියට සැලැකිය හැක්කේ ජනාධිපති මෛත්‍රී හා අගමැති මෝදි අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව ය. එය ද්විපාර්ශ්වික එකඟතා පිළිබඳ සාකච්ඡාවක් ලෙස සැලැකිය හැකි ය. ආර්ථිකය, දේශපාලනය,අධ්‍යාපනික, සාංස්කෘතික යන ක්ෂේත්‍රයන් අලළා රටවල් දෙකට ම වැදගත් සම්මුති ගැන මෙහි දී සාකච්ඡා වනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය. අගමැති මෝදි හා ජනපති මෛත්‍රී අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය මෙන්ම දෙදෙනා අතර පවත්නා සුහදශීලීභාවය ද මේ සාකච්ඡාවලට මුලපුරා ඇතැ’යි සිතන්නට පුළුවන. අගමැති මෝදිගේ දෙවන පදවිප්‍රාප්තියේ විශේෂ ආරාධිතයකු ලෙස ද ජනාධිපති මෛත්‍රී එදින උත්සවයට සහභාගි විය.

ඉන්දියාව හෙවත් භාරතය කොයි අතින් බැලුව ද අපේ සුහද මිතුරා, අසල්වැසියා හා සහෝදරයා වන්නේ ය. අපේ ලොකු අයියා ලෙස ද සමහරු ඉන්දියාව හඳුන්වති. එයින් සාක්ෂාත් වන්නේ දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින දේශපාලනික, ආර්ථික හා සාංස්කෘතික සම්බන්ධය යි. අගමැති මෝදි වරක් කියා සිටියේ ඉන්දියාවේ සමීපතම මිතුරා ශ්‍රී ලංකාව බව ය. ඒ හැරෙන්නට දකුණු ආසියා කලාපයේ නායකත්වය හිමි ව ඇත්තේ ද ඉන්දියාවට ය. එම නායකයා ශ්‍රී ලංකාව කෙරෙහි පිළිගැනීමකින් කටයුතු කිරීම අපට විශාල ශක්තියකි. ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව ශ්‍රී ලංකාව තෝරාගත යුතු හොඳම වෙළෙඳ පොළ ඇත්තේ ඉන්දියාව තුළ ය.

ජනගහනය අතින් ලොව දෙවන ස්ථානය හිමි කර ගන්නා රාජ්‍යය ඉන්දියාව වේ. ජනගහනය අතින් ලොව අංක එක හිමි කරගෙන ඇති චීනය පසුකොට තවත් දසක කිහිපයක දී ඉන්දියාව පළමු තැනට පත්වන බව පුරෝකථනය වී ඇත. ඉන්දියාව ඉතා ශීඝ්‍රයෙන් තම ආර්ථික ගනුදෙනු පුළුල් කරගනිමින් සිටී. පළමුව කෘෂිකාර්මික නිෂ්පාදන අතින් පෙරමුණ ගත් ඉන්දියාව දැන් කාර්මික නිෂ්පාදන අතින් ද ශක්තිමත් ව සිටී. රථවාහන හා දුම්රිය නිෂ්පාදනයත් ඒ අතර පවතී. දකුණු ආසියා කලාපයේ අලෙවි වන ජපන් වාහන සමඟ කරට - කර තරගයක් දෙන්නට ඉන්දීය රථවාහන සමාගම් සමත් ව සිටී. ජපානය සමඟ ඒකාබද්ධ නිෂ්පාදන සමාගම් ඇතිකර ගැනීමට ද ඉන්දියාව සමත්ව සිටී. ඉන්දියාවේ අනාගත ආර්ථිකය බෙහෙවින් ශක්තිමත් එකක් බව එයින් සනාථ වෙයි.

ඉන්දියාවේ විරසකයක් සමඟ අපට යා හැකි ආර්ථික ගමනක් නැත. ශ්‍රී ලංකාවේ භූ-දේශපාලනික පිහිටීම, ඉන්දියාවේ නායකත්වය, ආර්ථික ශක්තිය හා තවත් දේවල් ඒ සඳහා බලපාන ඍජු සාධක ලෙස දැක්විය හැකි ය. නිදහසින් පසු බිහිවූ බුද්ධිමත් නායකයන් ඉන්දියාව සමඟ ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව රහසක් නොවේ. අද වන විට එකී සම්බන්ධය වඩාත් ශක්තිමත් එකක් බවට පරිවර්තනය වී තිබේ. අගමැති මෝදි හා ජනපති මෛත්‍රී එකිනෙකාට හොඳින් ගැළපෙන නායකයන් ලෙස හැඳින්විය හැකි ය. මෝදි මහතා බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දක්වන්නට පටන් ගත්තේ ය. මෛත්‍රී මහතා බලයට පත්වීමෙන් පසු ඉන්දියාව කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දක්වන්නට ද පටන් ගත්තේ ය.

ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බව සැබෑ ය. එහෙත් අපගේ ආර්ථිකය ලෝකයට විවෘත විය යුතුය. ලෝක ගනුදෙනු නැතිව ආර්ථිකය ඉදිරියට තල්ලු කිරීම අපහසු වන්නා සේම ලෝක ගනුදෙනු නැතිව රටක ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ඇතිකර දීම ද අපහසු වන්නේ ය. ආර්ථික ගනුදෙනු සිදුවන්නේ රටවල් දෙකක් අතර නම්; රටවල් දෙකටම ලබාගත හැකි වාසි ගැන එකිනෙක රටවල් කල්පනා කරයි. එක රටකට පමණක් වාසි ලැබෙන ආර්ථික ගිවිසුම් ලොව කොතැනක හෝ නැත. ඉන්දියාව සමඟ කරන ආර්ථික ගනුදෙනුවල දී ද මේ තත්ත්වය වටහාගත යුතුව තිබේ. කෙනකුගේ මතය වන්නේ ඉන්දියාව ආර්ථික ගිවිසුම් ඔස්සේ ශ්‍රී ලංකාව සූරාකෑමට සූදානම් වන බවය. එය මුළුමනින්ම බැහැර කළ යුතු අතාර්තික මතයකි.

මේ වනවිට ඉන්දීය ගිලන්රථ සේවය ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය වී තිබේ. ජනතාව ඉතා කැමැත්තෙන් එහි සේවය ලබා ගනිති. නොමිලේ ලබාදෙන මේ සේවය එදා විවේචනයට ලක් වූයේ ශ්‍රී ලංකාව ගිලගැනීමට එන යක්ෂයකු හැටියට ය. මේ ගිලන් රථ සේවය ශ්‍රී ලංකාවේ ජීවිත කීයක් බේරාගෙන තිබේද යන්න සොයා බැලිය යුතු කාරණයකි. මෝදි මහතාගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනයට සැලැකිය යුතු මූල්‍යාධාරයක් ලැබී ඇත. මේ හැරෙන්නට වතු අංශයේ දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම සඳහා උපකාර කිරීමට ද ඉන්දීය රජය ඉදිරිපත් වී ඇත. එම වැඩසටහන වතු අංශයේ පාසල් සංවර්ධනය සඳහා වෙන්වන බව වාර්තා වෙයි. මේ අයුරින් මෝදි රජය ශ්‍රී ලංකාවට විවිධ ආධාර හා උපකාර ලබා දෙයි.

නරේන්ද්‍ර මෝදි මහතාගේ දේශපාලන පෞරුෂය හා ප්‍රතිපත්තිගරුක බව ලෝක නායකයන්ගේ අවධානයට ලක් වූ කාරණයකි. කොටින් ම ඔහු ලෝකය පුරා ජනප්‍රිය දේශපාලන චරිතයකි. ඉන්දීය ජනතාව ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසයේ තරම මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් දැකගත හැකිය. මෝදි මහතා දේශපාලන වශයෙන් අධ්‍යයනය කළ යුතු චරිතයකි. අපේ දේශපාලකයන්ට ඔහුගෙන් උගත හැකි බොහෝ දේවල් තිබේ.

 


නව අදහස දක්වන්න