ශ්‍රී ලංකා-පාකිස්තාන තරගයට වැස්සෙන් බාධා | දිනමිණ

ශ්‍රී ලංකා-පාකිස්තාන තරගයට වැස්සෙන් බාධා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බ්‍රිස්ටල්හිදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ 11 වැනි තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට සිදු කිරීමට නියමිතව තිබුණද පවතින වර්ෂාව හේතුවෙන් පස්වරු 6.00 වනවිටත් එය සිදු කිරීමට නොහැකිව තිබිණි.

මේ තරගය එංගලන්ත වේලාවෙන් පස්වරු 4.20 (රාත්‍රී 8.50) ට පෙර ආරම්භ කිරීමට හැකිවුවහොත් ඕවර සංඛ්‍යාව අඩු කරමින් පැවැත්වෙන අතර එම වේලාවට ආරම්භ කිරීමට නොහැකිවුවහොත් තරගය අත්හැර දැමීමට සිදුවෙයි.

මේ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුවහොත් කණ්ඩායම් දෙකකටම එක් ප්‍රසාද ලකුණු බැගින් හිමිවෙයි. එසේ වුවහොත් ශ්‍රී ලංකා පිලේ මෙන්ම පාකිස්තානයේද ප්‍රසාද ලකුණු තත්ත්වය 3 බැගින් ඉහළ යන අතර ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට යෑමට අවස්ථාව හිමිවෙයි. පාකිස්තානය සිවුවැනි තැනට පත්වේ.

1992 වසරේ පැවැති ලෝක කුසලානයේදීත් පාකිස්තානයට මේ අත්දැකීමට මුහුණදීමට සිදුවිය.

එවරද ඔවුන් පළමු තරගයෙන් පරාජයට පත්වූ අතර දෙවැනි තරගයෙන් ජය ලබා තිබිණි. තෙවැනි තරගය වර්ෂාවෙන් සේදී ගොස් තිබිණි.


නව අදහස දක්වන්න