වැරැදියට ඇඟිල්ල එසැවූ විනිසුරුට සතර අතින් දොස් | දිනමිණ

වැරැදියට ඇඟිල්ල එසැවූ විනිසුරුට සතර අතින් දොස්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වත්මන් ක්‍රිකට් ලෝක ශූරයන් වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 15ක ජයග්‍රහණයක් අත් කරගත් ට්‍රෙන්ට්බ්‍රිජ් තරගයේදී පිටියේ විනිසුරුවන් ලබා දුන් තීරණ සම්බන්ධව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සාමාජිකයන්ගේ සිට මුලු මහත් කොදෙව්වන්ගේම දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

බ්‍රහස්පතින්දා පැවැති මේ තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවාසි වන අයුරින් ලබා දුන් තීරණ කීපයක් හේතුවෙන් ඉහත දෝෂ දර්ශනයට ලක්වූ අතර එම අඩුපාඩුව නොවන්නට මේ තරගයේ ජය බොහෝ විට බටහිර ඉන්දීය කොදෙව් පිලට අත්කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බව විවේචනාත්මක අදහස් පළ කරන උදවියගේ මතය වී තිබේ.

අදාළ දුර්වල තීරණ අතරට ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්ව දෙවතාවකදීද, නායක ජේසන් හෝල්ඩර්ව දෙවතාවකදීද දැවී යෑමට ලක්වූ පිතිකරුවන් බවට පිටියේ විනිසුරුවරයන් වූ ක්‍රිස් ගැෆනි සහ ශ්‍රී ලංකා විනිසුරු රුචිය පල්ලියගුරුගේ නම් කරනු ලැබුවද ඒ අවස්ථා සියල්ලේදීම තෙවැනි විනිසුරුගේ පිහිටෙන් තවදුරටත් පිටියේ රැඳී සිටීමේ අවස්ථාව මේ ක්‍රීඩකයන්ට උදා වූහ.

එහෙත් පළමු අවස්ථාවන් දෙකේදී පරිදිම තෙවැනි වතාවටත් කරන ලද ඉල්ලීමකදී ගේල්ගේ පිතිහරඹයට එරෙහිව ග්‍රැෆනිගේ ඇගිල්ල ඉහළට එසවීම නිසා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වීමට ගේල්ට සිදුවිය. එම අවස්ථාවේදීද තෙවැනි විනිසුරුගේ සහාය පැතුවද පිටියේ විනිසුරුවරයා ලබා දුන් තීරණයට අභියෝගයක් කළ නොහැකි වන ආකාරයේ හෙවත් අම්පයර්ස් කෝල් නමැති සීමාවේ සිට අදාළ තීරණය ලබාදීම නිසා අකමැත්තෙන් වුවද ගේල්ට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. කෙසේ වෙතත් තමන්ට ලබා දුන් තීරණ සම්බන්ධව කිසිසේත් සෑහීමකට පත් නොවුණු ආකාරයෙන් ගේල් පිටියෙන් ඉවත්වීමද කැපී පෙනුණි.

මේ අතර නායක ජේසන් හෝල්ඩර් සම්බන්ධව ශ්‍රී ලංකා විනිසුරු රුචිර පල්ලියගුරුගේ මහතා ලබා දුන් තීරණ 2 කද නොදැවීම් ලෙස සටහන් වීම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමට නායක හෝල්ඩර්ට අවස්ථාව උදාවිය. අදාළ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටි හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නකු වන වත්මන් විස්තර විචාරක මයිකල් හෝල්ඩිංද දැඩි විවේචනාත්මක ලෙස සිය අදහස් පළ කර තිබේ.

කෙසේ වෙතත් මේ තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගිවූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රීඩක ක්‍රෙග් බ්‍රැත්වයිට්, “අපේ ක්‍රීඩකයන්ගේ පා ආවරණයේ වැදෙන වැදෙන පාරට විනිසුරුවන්ගේ ඇගිල්ල ඉස්සුණා. ඒ ඉස්සෙන තරමට ප්‍රමාණවත් වන අයුරින් තෙවැනි විනිසුරුගෙන් විමසීම සඳහා අවස්ථාවන් අපිට නෑ. ඒ වගේම අපි පන්දු යවනකොට කරපු ඉල්ලීම් වලදි ඇගිල්ල පහත වැටුණා. ඒක නිසා අපි හැම වෙලේම තෙවැනි විනිසුරුගේ පිහිට පතන්න වුණා. ඒත් ඒ දුන්නු හැම තීරණයකටම අපිට ප්‍රමාණවත් අවස්ථාවන් තිබුණේ නෑ" යැයි පැවැසීය.

මේ අතර ගේල්ගේ දැවී යෑමට පෙර මයිකල් ස්ටාර්ක් විසින් යොමු කරන ලද පන්දුව, පන්දු යවන සීමාව ඉක්මවාලමින් යවන ලද දැවැන්ත නිපන්දුවක් බවට පත් වූවද එය නිපන්දුවක් බවට පත් නොවීමද බොහෝ දෙනාගේ විමතියට හේතුවිය. මේ තත්ත්වය තවත් තීව්‍ර අතට පත් වූයේ ඊට පසුව යවන පන්දුවට ගේල් දැවී යෑමයි. විවේචනාත්මක ලෙස අදහස් දක්වන පිරිස් පවසා සිටින්නේ හරි අවස්ථාවේදී නිපන්දුව ලබා දුන්නේ නම් ගේල් දැවී යෑම වෙනුවෙන් යවන පන්දුව ෆ්‍රී හිට් පන්දුවක් වන බවත්, නීතියට අනුව දුවද්දී දැවී යෑමක් හැරෙන්නට වෙනත් දැවී යෑමකට එම පන්දුවෙන් ඉඩක් නොමැති බවත්ය.

 


නව අදහස දක්වන්න