ත්‍රෛයිනිකායික නාහිමිවරු කළ ප්‍රකාශවලට ඇඟිල්ල දිගු කිරීම හෙළා දකිනවා | දිනමිණ

ත්‍රෛයිනිකායික නාහිමිවරු කළ ප්‍රකාශවලට ඇඟිල්ල දිගු කිරීම හෙළා දකිනවා

කමනි අල්විස්

රටේ ආන්දෝලනයක් ඇති කළ මුස්ලිම් ඇමැතිවරු ඇමැති ධුරවලින් ඉවත්වීම පිළිබඳව ත්‍රෛයිනිකායික මහා නාහිමිපාණන් වහන්සේලා සිදු කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය පිළිබඳව විපක්ෂයේ කණ්ඩායම් උන්වහන්සේලාට ඇඟිල්ල දිගු කිරීම තරයේම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

මන්ත්‍රීවරුන් මේ බව පැවසුවේ ඊයේ (6) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී තවදුරටත් අදහස් පළ කරමින් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙසේ පැවසීය.

මේ උදවිය සිංහල බෞද්ධයන්ද. ජනතාව කුපිත කරවීමෙන් වළකා සංහිඳියාව වචනයට සීමා නොකර යථාර්ථයක් බවට පත් කළ යුතුයි.

මෙවර පොසොන් සැමරීම ඉහළින්ම සෑම ප්‍රදේශයකම විහාරස්ථා මුල්කර ගනිමින් පවත්වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පාර්ලිමේන්තු කණ්ඩායම දැනුම්වත් කරමින් කියා සිටියා.

ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ත්‍රස්තවාදය මර්දනය කිරීමේ ප්‍රතිලයක් ලෙස අප රට තුළ ආරක්ෂාව තහවුරු වීමේ විශ්වාසය හේතුවෙන් ඉන්දියාවේ අගමැති මෝදි මැතිතුමා මේ රටේ සංචාරයක යෙදෙනවා. එසේ තිබියදීත් ආරක්ෂාව ගැන විවිධ ප්‍රකාශ පතුරවා හරිනවා. මේ වන විට තේරීම් කාරක සභාවෙන් සත්‍ය හෙළිදරව් වෙනවා. ඇති වුණ කළු පැල්ලම ඉවත් කරමින් සැවොම එක්ව සියලුම ජාතීන් රැක ගනිමු.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා ප්‍රබල සාක්කි තිබෙන බව. තේරීම් කාරක සභාවට ඒ සියල්ල ඉදිරිපත් කරන ලෙසට ඒ මහතාට ආරාධනා කරනවා. මුස්ලිම් ජනතාවට ඇඟිල්ල දිගු කරමින් බදියුදීන් ඇමැතිවරයාට විවිධ චෝදනා විමල් වීරවංශ ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ කිසිවක් කතා නොකර නිහඬව ඉන්නවා. විමල් වීරවංශ මහතා විවිධ චෝදනා ගැන කියනවා. තේරීම් කාරක සභාවට ඇයි මේවා ඉදිරිපත් නොකරන්නේ. එසේ ඉදිරිපත් කර ඇමැතිවරයා වරදකරු වුවහොත් පසු පෙළ මන්ත්‍රීවරු ලෙස අපත් නැගී සිටිමින් ඇමැතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට දායක වෙනවා.

මන්ත්‍රී හේෂා විතානගේ මහතා -

සංහිඳියාවෙන් එකමුතුකමින් අපි ක්‍රියා කළ යුතුයි. මුස්ලිම් ප්‍රජාව තුළ යම් වෙනස්කම් අවශ්‍යයයි. මුස්ලිම් ජනතාව සමඟ අත්වැල් බැඳගෙන අප ක්‍රියා කළ යුතුයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පිළිතුරු දෙමින් මෙසේ පැවසූහ.

ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අ‍පේක්ෂකයා කවුද?.

පිළිතුර - ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස මහත්වරු ජනාධිපති අගමැති, කථානායක ලෙස පත්වනවා.

ප්‍රශ්නය - ජනාධිපතිවරයා ‍යම් ඉඟියක් දී තිබෙනවා නේද?

පිළිතුර - එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පත් කරන්නේ පක්ෂයයි.

ප්‍රශ්නය - රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛය නිකුත් කෙළේ කවුද?.

පිළිතුර - එම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිකුත් කෙළේ ජනාධිපති ලේකම්ගේ අනුමැතියෙන්. එම චක්‍රලේඛය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසට අපි අගමැතිතුමාට යෝජනා කළා. එතුමා එය අනුමත කළා.

මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා ලද පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රකාශ ඡන්දයට අවාසියි ‍නේද?.

පිළිතුර - ඡන්ද දෙස බලාගෙන එතුමා ප්‍රකාශ කරන්නේ නෑ. එතුමාගේ පෞද්ගලික මත ඉදිරිපත් කර තිබෙනවා. සියලුම දෙනා ශ්‍රී ලාංකික ලෙස පෙළ ගැසෙමු යන අර්ථයෙන් එතුමා ප්‍රකාශ කළ මතයක්. මංගල ඇමැතිතුමාට සමාන මතයක් මහින්ද රාජපක්ෂ මහතාද මෑතකදී ප්‍රකාශ කළා. මංගල ඇමැතිතුමා මුදල් ඇමැති ලෙස පන්සල් වලට විශාල වශයෙන් මුදල් වෙන් කළා. එතරම් මුදල් ප්‍රමාණයක් ඉතිහාසයේ කිසිම ඇමැතිවරයෙක් වෙන් කර නෑ. සෑම ආගමික ස්ථානයක් වෙනුවෙන්ම එතුමා ප්‍රතිපාදන ලබා දුන්නා.

ඡායාරූපය - ගයාන් පුෂ්පික

නව අදහස දක්වන්න