සයින්ද මර්දුහිදී බෝම්බ පුපුරවාගෙන මියගිය 16දෙනාගේ සිරුරු ගොඩගනී | දිනමිණ

සයින්ද මර්දුහිදී බෝම්බ පුපුරවාගෙන මියගිය 16දෙනාගේ සිරුරු ගොඩගනී

පසුගිය අප්‍රේල් මස විසි හයවන දින කල්මුණේ සයින්ද මර්දු බොලිවේරියන් ගම්මානයේදී බෝම්බ පුපුරවා ගනිමින් මිය ගිය දහසය දෙනෙකුගේ සිරුරු කොටස් පසුගිය මැයිමස දෙවන දින අම්පාර පොදු සුසාන භූමියේදී නැවත පරීක්ෂණ සඳහා ගත හැකි ආකාරයට වළලා දැමු අතර නැවත වරක් රස පරීක්ෂකවරයාගේ නියමය පරිදි ඩී.එන්.ඒ .පරීක්ෂණ සඳහා ඊයේ (07)ගොඩ ගනු ලැබිණි.මෙහිදී ප්‍රධාන වශයෙන් වැඩිහිටියන් තිදෙනෙකු සහ එක් දරුවෙකුගේ අස්ථි කොටස් මෙහිදී ගැනීමට නියමිය.

අම්පාර දිසා මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිආරච්චි මෙනෙවියගේ අධික්ෂණය යටතේ අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රුචිර නදිර මහතා සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත විජේසේකර මහතාගේ මෙහෙයවීම මත මේ සිරුරු කොටස් ගොඩගැනීම සිදු කරන ලදී.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ගේ පියාවන අයාතු මොහොමඩ් මොහොමඩ් කාසිම් මව වන අබ්දුල් කාදර් සම්මා සහරාන්ගේ සහෝදරයන් වන මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සෙයිනි ඔවුන්ගේ බිරින්දැවරුන් සහ ළමයින් හය දෙනෙකු ඇතුළු දහසය දෙනෙකු මෙහි වළදමා ඇත.වැඩිදුරටත් ඉදිරි පරීක්ෂණ සඳහා අවශ්‍ය විය හැකි බැවින් සියලු දෙනාගේම අස්ථි කොටස් මෙහිදී රසපරීක්ෂක වෙත යැවීමට කටයුතු යොදන බව අධිකරණ වෛද්‍ය නිලධාරි රුචිර නදිර මහතා පවසයි. පොලිසිය මේ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබුණි.

දිගාමඩුල්ල සමුහ -චන්දන ලියනආරච්ච්


නව අදහස දක්වන්න