බෝම්බ පිපිරවූ මුබාරක් ගැන පශ්චාද් මරණ පරීක්ෂණය කර අධිකරණයට වාර්තා කරන්න | දිනමිණ

බෝම්බ පිපිරවූ මුබාරක් ගැන පශ්චාද් මරණ පරීක්ෂණය කර අධිකරණයට වාර්තා කරන්න

කොළඹ කිංග්ස්බරි ‍හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ‍මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අය සම්බන්ධ පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කර අධිකරණයට වාර්තා කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (07) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කළේය.

සිද්ධියට අදාළව සැකකාර බෝම්බකාරයා බවට හිස් කබල නිරීක්ණය කර බලා හඳුනාගත් සාක්ෂිකරුවන් ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේ අපරාධ ස්ථානයේ තිබූ ඔහුගේ හිස් කබල පොලිස් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් එම හිස් කබල සම්බන්ධයෙන් පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමිනි.

එමෙන්ම බෝම්බකරුගේ දියණිය වන හබීබා අසාම් සහ බිරිය වන එම් වසීර් සිද්ධියාගේ කොපුල් සෛල ඇතුළු ශරීර කොටස් බෝම්බකරුගේ සෛල කොටස් සමඟ සැසඳීම සඳහා ඉකුත් 2019.05.03 සහ 2019.05.13 දිනයන්හිදි ලබාගෙන ඇති බවත් ජාන පරීක්ෂණයෙන් අනතුරුව ජාන සැසඳී ඇති බවට වාර්තා ලැබී ඇති බවත් පොලිසිය අධිකරණයට කියා සිටි‍යේය.

එමෙන්ම බිරියගේ සහ බෝම්බකරුගේ විවාහ සහතික දියණියගේ උප්පැන්න සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන බව කියා සිටි පොලිසිය බෝම්බකරුගේ හිස ක‍ොටස පශ්චාද් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නියෝගයක් ලැබෙන තෙක් රඳවා තැබීමට නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අපරාධ ස්ථානයේ තිබූ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා,පුපුරන ද්‍රව්‍ය නිෂ්ලේෂන අංශය මෙන්ම ජාන විශ්ලේෂන අංශය වෙත භාරදී ඇති බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය බෝම්බකරුගේ හැසිරීම සම්බන්ධ නිරීක්ෂණය සඳහා අධිකරණ නියෝග පරිදි 2019.06.03 දින සි. සි. ටී. වී. වාර්තා ලැබී ඇති බවද දන්වා සිටියේය.

එමෙන්ම බෝම්බකරුගේ හිස කොටස බිරියගේ සොයුරිය වන නෙරු නිශා, ඇයගේ ස්වාමිපුරුෂයා වන මහරුෆ් කජීර්,වැඩිමහල් සොහොයුරිය උම්මුල් රසීනා,ඇගේ ස්වාමිපුරුෂයා වන එම් අබුබකර් යන අය හඳුනාගෙන් ඇති බවත් ඔවුන් මරණ පරීක්ෂණයේ සාක්ෂි සඳහා කැඳවන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සුභාෂිණී සේනානායක සහ මැදකොළඹ සමූහ

නව අදහස දක්වන්න