පරිසරය රැක්කේ නැත්නම් අපට රටක් ඉතිරි වෙන්නේ නැහැ | දිනමිණ

පරිසරය රැක්කේ නැත්නම් අපට රටක් ඉතිරි වෙන්නේ නැහැ

අසේල කුරුළුවංශ

මෙරට වැඩිම වන ඝනත්වයක් ආරක්ෂාවී පවතින්නේ මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල බවත් යුද සමයේ වේලු පිල්ලේ ප්‍රභාකරන් ගරිල්ලා සටන් සඳහා වන ගහණය ආරක්ෂා කිරීම මෙයට හේතුව බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යුද්ධය නොතිබුණා නම් මෙම දිස්ත්‍රික්කවල වන ඝනත්වයද අනෙකුත් දිස්ත්‍රික්කවල මෙන් පහළට ඇද වැටෙන බවද ඒ මහතා කීය.

මහනුවර මහ නගර සභාවට අයත් දුනුමඬලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගාවක් ආරම්භ කිරීම නිමිත්තෙන් පෙරේදා (6) එම භූමියේදී පැවැති උත්සවයකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනපතිවරයා විසින් දුනුමඬලාව රක්ෂිතයේ මී පැළයක් රෝපණය කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. මහනුවර මහ නගර සභාව සතුව මුදල්, මානව සම්පත, වාහන, ගොඩනැඟිලි තිබිය හැකියි. ඒ සියලු දේට වඩා වටිනා සම්පත තමයි මේ දුණුමඬලාව රක්ෂිතය. ඒ බව අමතක කරන්න එපා කියලා මම මේ හැමෝටම කියන්න කැමතියි. මේක ඇත්තටම මහනුවර නගර සභාවට පමණක් නොව මුළු රටටම වටිනා සම්පතක්. මධ්‍ය කඳුකරයේ සුන්දරත්වයෙන් යුත් පෝෂණය කළ යුතු, සංරක්ෂණය කළ යුතු වන රක්ෂිතයක් මේක. වනානන්තරය රකිනවා කියන්නේ මිනිසකුට හුස්ම ගන්න තිබෙන අයිතිය ආරක්ෂා කිරීමක්. වනාන්තරය විනාශ කරනවා කියන්නේ මිනිසාට මෙන්ම සියලු සත්ත්වයාට හුස්ම ගැනීමට ඇති අයිතිය නැති කිරීමක්. සතා සිවුපාවා ඇතුළු අපි ඔක්කොම ජීවත් වෙලා ඉන්නේ සුන්දර ගහ කොළ නිසයි.

මෙරට වන ඝනත්වය 28 % ක අගයක තිබෙන්නේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තම වැඩිම වන ඝනත්වයක් තිබෙන්නේ මුලතිව් හා මන්නාරමෙයි. එම ප්‍රදේශවල වන ඝනත්වය මෙලෙස ආරක්ෂා වී තිබෙන්නේ ප්‍රභාකරන් නිසයි. ඔහු කොතරම් නරක මිනිහෙක් වුණත් වනය රකින්න ක්‍රියා කළ එක හොඳ දෙයක්. ඔහු ඒක කළේ ගරිල්ලා සටන්වලට ආරක්ෂිත ස්ථාන ඕන නිසයි. යුද්ධය නොතිබුණා නම් මුලිතිව් හා මන්නාරම් දිස්ත්‍රික්කවල වන ඝනත්වය අනෙක් දිස්ත්‍රික්වල වගේම පහළට වැටෙනවා. වන ඝනත්වය අඩුම දිස්ත්‍රික්කය වන්නේ ගම්පහයි. එහි වන ඝනත්වය 1.6% යි. ඊළඟට තිබෙන කොළඹ එම අගය 2.8 % යි. මහනුවර දිස්ත්‍රික්කයේ වන ඝනත්වය 19.3 % ක අගයක තිබෙනවා. වවුනියා, මුලතිව්, මන්නාරම තමයි දැනට ශ්‍රී ලංකාවේ වැඩිම වන ඝනත්වයක් තිබෙන ප්‍රදේශ.

මේ රටේ ස්වාභාවික සම්පත් විශාල ලෙස විනාශ වීම දැකපු නිසා මම ජනපති ධුරයට අමතරව පරිසර අමාත්‍යාංශය බාර ගත්තා. මට මුදල්, වරාය, පෙට්‍රෝලියම් වගේ හොඳ අමාත්‍යාංශ ගන්න තිබුණත් මම ඒවා නොගත්තේ පරිසරය සුරැකීම පිණිස වැඩක් කළ යුතුව තිබූ නිසයි. පරිසරය රැක්කේ නැත්නම් අපට රටක් ඉතිරි වන්නේ නැහැ. මේ රට වේගයෙන් කාන්තාරයක් බවට පත් වෙමින් තිබෙනවා. මෙරට පවතින 28 % ක් වන වන ඝනත්වය වසරකට 1.5 % බැගින් අඩු වෙනවා. මේ විදිහට වන ඝනත්වය අඩු වුණොත් තවත් අවුරුදු 15ක් යනවිට මේ රට කාන්තාරයක් වෙන බව ස්ථිරයි. මේ රටේ වන සම්පත, ස්වාභාවික සම්පත්, වැලි, ගල්, පස්, මහ පොළව, සතා සිවුපාවා රකින්න පරිසර නීති ශක්තිමත් කළා වගේම පළමු වරට මේ රටේ ස්වාභාවික සම්පත් රකින්න ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා. ගුවන් හමුදාව සතියකට වරක් සැටලයිට් මගිනුත් හෙලිකොප්ටර් මගිනුත් වනය නිරීක්ෂණය කරලා ගුවන් හමුදාපති මට වාර්තාවක් දෙනවා. යම් වනාන්තර කොටසක් විනාශ වෙලා තිබෙනවා නම් අදාළ වාර්තාව ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඒ ගැන පරීක්ෂණයක් සිදු කරනවා. නාවික හමුදාව වෙරළ සංරක්ෂණය කරනවා වගේම අපේ වන සම්පත විනාශ කරලා රටින් පිටට ඒවා ගෙනියනවාද කියන එකත් නිරීක්ෂණය කරනවා. පොලීසිය හා හමුදාව, වන සම්පත විනාශ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, වනජීවි දෙපාර්තුමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, පරිසර සංවිධාන, පරිසරවේදීන්, රාජ්‍යය හා රාජ්‍යය නොවන ආයතන රැසක් මේ රටේ පරිසරය රැක ගැනීම පිණිස කැපවී ක්‍රියා කරනවා. දැනට ඉතිරි වී තිබෙන වන ගහණය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. ඒ අතර වන රෝපා වැනි වැඩසටහන් තුළින් පැළ දස ලක්ෂයක් සිටුවීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළා.

වන සම්පත මෙන්ම ස්වාභාවික සම්පත් රැක ගැනීමේදී ඇති ප්‍රබලතම අභියෝගය තමයි දූෂිත ජාවාරම් කරුවන්. ඔවුන් කැලෑ විනාශ කරනවා. මේ අය ගල්, වැලි, පස් හැම දේම විනාශ කරනවා. මම ජනපති ධුරයට පත්වෙන කොට පොළොන්නරුව මැද්දෙන් ගලා යන මහවැලි ගඟ වැලි ජාවාරම් කරුවන්ගේ ක්ෂේම භූමියක්. පළමු සතියේදීම මම පොළොන්නරුවේ සිදුවන මහවැලි ගංඟාවේ වැලි ජාවාරම් නතර කළා. පුද්ගලික අයට ලබාදී තිබුණු වැලි බලපත්‍ර සියල්ලම අහෝසි කළා. රටේ සංවර්ධනයට අවශ්‍ය වැලි ලබා ගැනීම සඳහා පමණක් නිර්දේශ ලබා දෙන්න භූ විද්‍යා හා පතල් කාර්යාංශයට අවසර දුන්නා. ඒ සඳහා පවතින නීති රීති ශක්තිමත් කළා. රටේ සංවර්ධනයට මම ඉඩක් දෙන්නේ නැහැ කියලා සමහරු චෝදනා කළා. මේ විවේචන තිබියදී මම නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ට උපදෙස් දුන්නා. මාලි රාජ්‍යයේ සේවයට ගොස් සිටියදී මියගිය යුද හමුදා නිලධාරියකුගේ මළ ගෙදරකට සහභාගි වෙන්න මම කුරුණෑගල දුෂ්කර ගමකට ගියා. ගමේ අය එක්ක කතා කරමින් සිටින විට ගමේ අයෙක් ළඟට ඇවිත් ඇහුවා සර් පරිසර ඇමැති නේද කියලා.මම ඔව් කිව්වා. ඇයි සර් මේ විදිහට කැලෑ කපන්න අවසර දීලා තිබෙන්නේ කියලා එයා ඇහුවා. කැලෑ කැපීම තහනම් කරලා තියෙන්නේ කිව්වම ඒ ගැමියා ඇයි සර් චේන් ෂෝ වලින් කරන වන විනාශය කාටවත් පේන්නේ නැත්තේ කියලා. හවස දකින ගහ උදේට නැහැ, ගහට වෙච්ච දෙයක් නැහැ කියලා ඔහු කිව්වා. විදුලියෙන් වැඩ කරන චේන් ෂෝ එක විශාල ගහකට තිබ්බම විනාඩි ගානකින් ගහ බිම දාන්න පුළුවන්.

සති තුනක් ඇතුළත රටේ තිබෙන සියලුම චේන් ෂෝ ළඟම ඇති පොලිස් ස්ථානයට රැගෙන ගොස් ලියාපදිංචි කරන්න ඕන කියලා චක්‍ර ලේඛයක් නිකුත් කළා. මාධ්‍යය මගින් මේ ගැන දැනුවත් කිරීම් කළා. පොලීසියේ මේවා ලියාපදිංචි කිරීම සඳහා ලබාදුන් සති තුන තුළ චේන් ෂෝ 82000 ක් ලියාපදිංචි කර තිබෙනවා. එක මැෂින් එකකින් එක ගහ ගානේ දවසකට කැපුවොත් රටේ ගස් අසූ දෙදහසක් ඉවරයි. මෙහෙම වෙනකොට අපි ගස් හදලා වැඩක් තියෙයිද? ගෘහ භාණ්ඩ සාදන බොහෝ තැන්වල ඒවා කරන්නේ හොර ලී උපයෝගි කර ගෙනයි. ගස් කපන යන්ත්‍ර ආනයනය කිරීම තහනම් කරමින් කැබිනට් මණ්ඩලයට ලබන සතිය තුළ යෝජනාවක් ගෙන ඒමට නියමිතයි. ලෝකයේ වන සම්පත රකින රටවල මේ මැෂින් හදන්නත් බැහැ, ඒවා පිට රටින් ගේන්නත් බැහැ. නමුත් අපේ රටේ ලියාපදිංචි කළේ 80000 යි. මම හිතන්නේ ලියාපදිංචි නොකළ ඒවත් ගත් විට ඔක්කොම ලක්ෂයකට වැඩයි. සල්ලි තියෙන අයට ලොකු ලී මෝල් තිබෙනවා. මුදල් නැති අය අතේ ගෙනියන මැෂිම ගස් කැපීමට පාවිච්චි කරනවා. වඩු මඩු වලත් ගොඩක් වැඩ කෙරෙන්නේ හොරට කපන ලී වලින්. අලුතින් වඩු මඩුවලට බලපත්‍ර දෙන්නේ නැහැ. ඉදිරි අවුරුදු පහ තුළ මේ රටේ ලී මෝල් අවසන් විය යුතුයි. මේ අයට වසර පහක කාලයක් දෙනවා වෙනත් රැකියා සොයා ගන්න. ලී මෝල් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය නම් පිට රටින් ලී ගේන්න පුළුවන්. එසේ නොකරන්නේ නම් බලපත්‍ර අහෝසි කරනවා. මේවා නොකර මේ රටේ සුන්දර වන සම්පත රැක ගන්න අමාරුයි.

මම ජනපති වෙන්න කලිනුත් රජයේ අවශ්‍යතා වෙනුවෙන් චොපර් එකෙන් යනවා. දැන් සතියකට දෙතුන් වතාවක් චොපර් එකේ යනවා. ගුවනින් යනකොට තමයි මේ රටේ සුන්දරත්වය ඇස් දෙකට පේන්නේ. ගුවන් යානා වලින් යන අය විනාඩි පහක් වැනි කාලයක් තුළ රටින් පිටව යන නිසා ඒ අයට හෙළිකොප්ටරයකින් යන අයකුට වගේ රටේ සුන්දරත්වය දකින්න ලැබෙන්නේ නැහැ. මේ රටේ පාසල් දරුවන්ට මේ ලස්සන බලන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම් කියන හැඟීම මට හැමදාම ඇති වුණා. නරේන්ද්‍ර මෝදි අගමැති සමඟ ඔහුගේ පෞද්ගලික හෙළිකොප්ටරයෙන් මම දිල්ලි සිට තවත් ප්‍රදේශයකට පැය 1 1/2 ක ගමනක් ගියා. බැලූ බැලූ හැම තැනම කහපාට දූවිල්ල. අපේ රටේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම එක ලෙස සුන්දරත්වයක් දැකිය හැකියි. ලෝක පරිසර දිනයට පමණක් සීමා නොවී හැම කෙනාම විශේෂ අවස්ථාවකදී හෝ පැළයක් හිටවන්න උනන්දු වෙනවා නම් ඒක මොන තරම් වටිනා දෙයක්ද? අපේ රටේ පාසල් ළමයින් ලක්ෂ 43 ක් සිටිනවා. රාජ්‍යය සේවයේ ලක්ෂ 16 ක් සිටිනවා. පෞද්ගලික අංශයේ ලක්ෂ 23 ක් ඉන්නවා. ගුරු සේවයේ විශාල පිරිසක් සිටිනවා. මේ අය උපන් දිනයට, වෙසක් පෝයට, පරිසර දිනයට පැළයක් හිටවනවා නම් මොන තරම් ගස් ප්‍රමාණයක් සිටවන්න පුළුවන්ද? ඉදිරි වසර 15, 20 තුළ මේ රට කාන්තාරයක් වීම වළක්වා ගන්න පුළුවන් ඒ විදිහට අපි පරිසරය ගැන හිතලා වැඩ කළොත් පමණයි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ, මහනුවර නියෝජ්‍ය පුරපති ඉලාහි ආබ්දීන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක යන මහත්වරු සහභාගි වූහ.

නව අදහස දක්වන්න