‘රට වෙනුවෙන් එකට සිටිමු’ සමාප්ති උළෙල ජනපති ප්‍රධානත්වයෙන් අද | දිනමිණ

‘රට වෙනුවෙන් එකට සිටිමු’ සමාප්ති උළෙල ජනපති ප්‍රධානත්වයෙන් අද

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක් පුරා පසුගිය 3 දින සිට දින පහක් පුරා ක්‍රියාත්මක කෙරුණු රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පෙරවරු 10.00ට මුලතිව් පොදු මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

එහිදි ප්‍රදේශයේ තරුණ තරුණියන්ට වෘත්තිය හා තාක්ෂණ මාර්ගෝපදේශනය සැපයිම සඳහා ස්මාර්ට් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදි කළ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කෙරේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්, වැලිඔය මුහුදුබඩපත්තුව, පුදුකුඩුඉරිප්පු තුනුක්කායි මාන්තෙයි නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මේ වැඩසටහනේ සිවු වන දිනය වූ 6 දා වන විට දින හතර තුළ මිලියන 230 කට ආසන්න මුදල් ප්‍රතිපාදන වැය කර පනස් හතර දහසක ජනතාවකට ප්‍රතිලාභ ලබාදී ඇති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

අරුණ ඩයස්  
ඡායාරූප - චමින්ද නිරෝෂන්

නව අදහස දක්වන්න