පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වනවා | දිනමිණ

පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වනවා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අස්ථාවර වූ රට නැවත යථා තත්ත්වයට පත්කිරීම සහ ජනතාව තුළ විශ්වාසය යළි සහතික කිරීම සඳහා මෙවර පොසොන් උත්සවය මිහින්තලේ මුල් කරගෙන පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට ආණ්ඩුව අදහස් කර ඇති බව අග‍මැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (7) අරලියගහ මන්දිරයේදී දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය.

අප්‍රේල් මාසයේ වැඩකටයුතු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා අඩපන වුණා. ඒවා දැන් ආරම්භ කර ගෙන යනවා. සමහර තැන්වල එම වැඩකටයුතු ආරම්භ වෙලා නෑ. මම කියන්න කැමතියි අපි සාමාන්‍ය තත්ත්වයට රට ගේන්න නම් මෙම සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. පරිපාලන කටයුතුත් ඒ අනුව ක්‍රියාත්මක කළ යුතුයි. එ කටයුතු ඒසේ සිදුනොවුනොත් රට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙන්නේ නෑ. සමහර දිස්ත්‍රික්කවල සංවර්ධන වැඩකටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ගැන කිසිඳු ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන්ම ගම්පෙරලියෙන් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙනවා. එම වැඩසටහන් මෙම වසර අවසන්වීමට පෙර ජනසතු කළ යුතුයි. තව බොහෝ සංවර්ධන වැඩකටයුතු සීග්‍රයෙන් කරන්න තිබෙනවා.

ගමට කෝටිය වැනි සංවර්ධන වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. ඒ සඳහා මුදල් මේ වන විට වෙන්කර තිබෙනවා. ඒ මුදල් වියදම් කරන එකත් වැදගත් කාරණයක්. දැනට තිබෙන ආරංචි අනුව තවම අපි සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරන තත්ත්වයට පැමිණ නෑ. විවිධ ගැටලු තිබෙන නිසා. ජනතාව කළ යුත්තේ ප්‍රදේශයේ ගැටලු පළාත් පාලන ආයතන මට්ටමෙන් වජිර අබේවර්ධන අැමැතිවරයා දැනුවත් කිරීමයි. මම ඇමැතිතුමාට උපදෙස් ලබාදී තිබෙනවා මාසිකව සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය ලබාදෙන්න කියා.

රටේ ආර්ථිකයේ ප්‍රධාන අංගයක් තමයි සංචාරක ව්‍යාපාරය. දැන් සංචාරක ව්‍යාපාරය බෝම්බ පිපිරීමත් සමඟ කඩා වැටී තිබෙනවා. රටවල් ගණනාවකින් මෙරටට පැමිණි සංචාරකයින් නැවත පිට වී තිබෙනවා. සමහර හෝටල් වල එක් කාමරයක් හෝ පිරී නෑ. දැනට රටවල් කීපයක් සංචාරක සම්බාධක ඉවත්කර තිබෙනවා. ඔවුන් පවසා තිබෙනවා ලංකාව දැන් සාමකාමී කියා. යුරෝපීය රටවල් කීපයක් ඉදිරි සති දෙක තුළදී එම බාධක ඉවත් කර ගන්නවා. ඉන්දීය අගමැති මෝදි මැතිතුමා ලංකාවට පැමිණිමත් මෙරට ආරක්ෂාව පිළිබඳව විශ්වාසනීය කරුණක්.

මම තානාපතිවරුන් කීපදෙනකු සමඟ සාකච්චා කළා. එහිදී ඔවුන් පැවසුවා ලංකාවේ ආරක්ෂක අංශ හොඳින් අන්තවාදීන් මර්දනය කළ නිසා රට සාමකාමී වී ඇති බව. ඒ නිසා එම රටවල සංචාරකයන් ශ්‍රී ලංකාව පිළිබඳව දැනුවත් කරන බවට පැවසුවා. නමුත් රටේ තව එක් ගැටලුවක් පිළිබඳ ඔවුන් සාකච්චා වෙනවා. මේ රටේ ජාතිවාදී ප්‍රශ්නයක් මතුවේ දැයි බියක් තිබෙන බව ඔවුන් පැවසුවා. පසුගිය දින කීපයේ ඇති වූ සිදුවීම් ඒ සඳහා බලපා තිබෙනවා. ඒ නිසා මම දිසා ලේකම්වරුන්ට මතක්කරන්න කැමතියි තමන්ගේ ප්‍රදේශවල ජාතිවාදී ප්‍රශ්න ඇතිවීමට ඉඩනොදී ගම්මට්ටමෙන් වැඩකරන්න කියා. ගම්මට්ටමෙන් ආගම් අතර සංහිදියාව ගොඩනැගිය යුතුයි.

සමහර අය කෙටිකාලීන දේශපාලන වාසියට ජාතිවාදී ප්‍රශ්න ඇති කර ගන්න හදනවා. එයින් අන්තිමට වෙන්නේ අපේ ආර්ථිකයට මරුපහරක් එල්ලවීමයි. එම නිසා කෝලාහල ඇතිවීමට ඉඩනොදිමෙන් ගම්මට්ටමෙන් ආගම් අතර සංහිදියාව ඇති කිරීමට පියවර ගත යුතුයි.

පොසොන් උත්සවය රටේ පවත් වන්නේ සමහර ප්‍රදේශවල පමණයි. ඒත් මෙම අවස්ථාවේ දිවයින පුරා පොසොන් උත්සව පැවැත්වීමට අපි තීරණය කර තිබෙනවා. වෙසක් උත්සවයේදී සමහර අයට බියක්, සැකයක් ඇතිවුණා. නමුත් අද එම බිය, සැක නැති වී තිබෙනවා. ඒ නිසා මෙය හොඳ අවස්ථාවක් පොසොන් උත්සවය උත්කර්ශවත් ලෙස පවත්වන්න. දැන් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම පොසොන් උත්සවය වෙනුවෙන් මුදල් වෙන්කර තිබෙනවා. ඒ වගේම වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමටද පියවර ගෙන තිබෙනවා. ඒ වගේම සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් සඳහාම දානමය වැඩකටයුතු කිරීමට අපි ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. මිහින්තලය පොසොන් කලාපය වෙනුවෙන් අපි මුදල් වෙන්කර තිබෙනවා.සැරසිලි, දානමය වැඩසටහන් රටපුරා ක්‍රියාත්මක කරනවා. සෑම ජාතික පාසලකම ශිල ව්‍යාපාරයක් ගෙනයනවා. අපි පෙන්විය යුතුයි අපි පොසොන් උත්සවය පැවැත්වීමට බය නැති රටක් කියා. අපිට එම ආත්ම ශක්තිය තිබෙනවා. පොසොන් උත්සවය තමයි ලංකාවේ අපිට තිබෙන වැදගත්ම උත්සවය. ඒ නිසා මෙම අවස්ථාවේ දී කිසිදු කෙනකුට බෙදුම්වාදී ක්‍රියා ඇති කිරීමට ඉඩදියයුතු නෑ. සියලු දෙනා එකතුවී වැඩකටයුතු කළයුතුයි.

විශාල සංවර්ධන වැඩකොටසක් තිබෙනවා ඉදිරියේදී කිරීමට. ත්‍රස්තවාදය පිළිබඳ කාරණා කීපයක් තිබෙනවා විසඳ ගැනීමට. පොසොන් පෝයට මුල්තැනදී වැඩකටයුතු කරන්න කියා මම සියලු අැමැතිවරුන්ට කියනවා.

මෙම සාකච්ඡාවට බෝපිටියේ ධම්මිස්සර නා හිමි, තිනියාවල පාලිති නාහිමි, අඹන්වල ඥානාලෝක නාහිමි, මතුරට ධම්මාලංකාර හිමි යන ස්වාමීන්වහන්සේද, බුද්ධ ශාසන අැමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, ස්වදේශ කටයුතු, අභ්‍යන්තර කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අැමැති වජිර අබේවර්ධන, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සම්පත් සංවර්ධන අැමැති පී. හැරිසන් ,අධ්‍යාපන අැමැති අකිල විරාජ් කාරියවසම්, ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අැමැති ජේ.සි.අලවතුවල යන මහත්වරුද සහභාගි වූහ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ද සහභාගී වූ මෙම සාකච්ඡාවට අගමැති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර් .එච්. එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති යන මහත්වරුද සහභාගි වූහ.

අසේල ලියනගේ 
ජායාරූප - සමන් ශ්‍රි වෙදගේ


නව අදහස දක්වන්න