ඉන්දියාව ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙන රාජ්‍යයක් | දිනමිණ

ඉන්දියාව ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙන රාජ්‍යයක්

මහින්ද අලුත්ගෙදර

ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා සඳහා ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන රාජ්‍යයක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා ප්‍රකාශ කරයි.

ගංවතුර හෝ නියඟ තත්ත්වයක දී මිනිස් ශ්‍රමය හා සහනාධාර සමඟ ප්‍රතිචාර දක්වන ප්‍රථමයා ඉන්දියාව බව පෙන්වාදෙන ඒ මහතා ඉන්දියාව ශ්‍රී ලංකාව පුරා විවිධ ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්පූර්ණ කර ඇති බවද ඒවා පූර්ණ වශයෙන්ම ජනතාවට ලබාදුන් ප්‍රදාන බවද පෙන්වා දෙයි.

මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කෙළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙහි (BIDTI) රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා ලෝක සබඳතා පිළිබඳ 21 වැනි ඩිප්ලෝමා පාඨමාලාව සමාරම්භ කරමින් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඉන්දියාවේ නව අගමැතිවරයා වශයෙන් නරේන්ද්‍ර මෝදි මහතා බලයට පත්වීමෙන් පසුව මහ කොමසාරිස්වරයා සිදු කරන ලද පළමු දේශනය මෙහිදී සිදු කරන ලද අතර ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දක්වමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සඳහන් කෙරිණි. එසේම ඉන්දියා - ශ්‍රී ලංකා දිවිපාර්ශවීය සම්බන්ධතාවයේ විවිධ පැතිකඩ පිළිබඳව ඒ මහතා අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නරේන්ද්‍ර මෝදි මහතා මෙසේද පැවසිය.

දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව පළමු දිනයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව ඇතුළු අසල්වාසී රාජ්‍යයන්ගේ නායකයන් හමුවීමට යොදා ගෙන තිබිණ. මෙයින් පිළිඹිබු වන්නේ ඉන්දියාව සිය අසල්වැසි රාජ්‍යයන් සමඟ තිබෙන විශේෂ සම්බන්ධතාවයන්ට ලබාදෙන වැදගත්කමයි. ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා සඳහා ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන රාජ්‍යයක් වේ. ගංවතුර හෝ නියඟ තත්ත්වයක දී මිනිස් ශ්‍රමය හා සහනාධාර සමඟ ප්‍රතිචාර දක්වන ප්‍රථමයා ඉන්දියාව වේ. ඉන්දියාව දිවයින පුරා විවිධ ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්පූර්ණ කර ඇති අතර ඒවා පූර්ණ වශයෙන්ම ජනතාවට ලබාදුන් ප්‍රදාන වේ.

පසුගිය වසර පහක කාලය තුළ ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතාවල සුවිශේෂී වෙනස්කම් දක්නට ලැබිණ. 2015 මාර්තු මාසයේ දී අගමැති මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවේ අගමැතිවරයකු වසර 28කට පසුව ප්‍රථම වරට මෙරට කරන ලද සංචාරයයි. 2017 මැයි මාසයේ පවත්වන ලද ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට ද අගමැති මෝදි මහතා මෙරටට පැමිණියේය. ඉන්දියාවේ මෑතක දී පවත්වන ලද මැතිවරණයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සඳහා ලබාදුන් තීරණාත්මක ජනවරම තුළින් එතුමාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ලබාදුන් සහයෝගය පිළිබිඹු වේ. මෙම ප්‍රතිපත්ති අඛණ්ඩව සහ තවදුරටත් ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවට ද හිතකර වේ.

ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ බිලියන 1.3 ක ජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ඔවුන්ගේ සැබෑ සංවර්ධන අපේක්ෂාවන් ඉටු කරදීමයි. ඉන්දියාව සිය අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී තම අවශ්‍යතා මත පමණක් කටයුතු නොකරයි. ඉන්දියාව සැමවිටම සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදාහදා ගැනීම පිළිබඳව විශ්වාස කරයි. එක්ව දියුණුව කරා පිය නැගීම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මූලික හරය වේ. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇති පරිදි ඉන්දියාව කලාපයේ සැමට ආරක්ෂාව හා සංවර්ධනය සහිත අනාගතයක් ඉන්දියානු සාගරය සඳහා අපේක්ෂා කරයි.

කලාපය හා ලෝකය කැලඹීමට ලක්වුවහොත්, තනි තනි රටවලට සාමකාමී, සුරක්ෂිත හා සමෘද්ධිමත් විය නොහැක. අද පවතින්නේ අතිශයින්ම එකිනෙකා හා සම්බන්ධ වූ ලෝකයකි. අන් අයගේ කරදර සහ ගැටලු ඔහුට හෝ ඇයට පමණක් තිබෙන ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැක. එය ඔවුන්ට තරමටම අපටද දැනෙන ප්‍රශ්නයකි. ලෝක සාමය හා සමස්ත ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා අපගේ පෞද්ගලික සහ සාමූහික උනන්දුව අවශ්‍ය වේ.

අන්තර්ජාලය හා සයිබර් අවකාශය අප සිතන හා ක්‍රියා කරන ආකාරය විප්ලවයකට ලක්කර තිබේ. ඩිජිටල් යුගය, තාක්ෂණය සහ සමාජ මාධ්‍ය මානව වර්ගයා එක තැනකට ගෙනවිත් ඇති අතරම එය ප්‍රචණ්ඩත්වය හා නොයිවසීම පැතිර වියහැකි අවියක් වී ඇත. මෙහිදී පුද්ගලයන් සිටින සැබෑ ස්ථානයෙන් ඔබ්බට අදහස් සහ මතවාදයන් දේශසීමා ඉක්මවා යමින් ගමන් කරයි.

පිටස්තර භාවය, වර්ගීකරණය සහ අනන්‍යතා ධූරාවලීන් වෛරය සහ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වීම සඳහා සුදුසු වටපිටාවක් සකසයි. ආදරය සහ ඉවසීම එකමුතුභාවය තුළ පමණක් තිබිය හැකි ගුණාංග වේ. ඉන්දියාව විශ්වාස කරන්නේ සංවර්ධනය කරා යන ගමනේ දී සියලු දෙනාම රැගෙන යා යුතු බවයි. බහුවිධ භාවය සැමරිය යුතු කරුණක් විනා සටන් කළයුතු කරුණක් නොවේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තානාපතිනි පැමලා ඩීන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැඟෙනහිර ආසියාව, අග්නිදිග ආසියාව හා ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න