අනුරපුර ජාතික පොසොන් උළෙලට සියල්ල සූදානම් | දිනමිණ

අනුරපුර ජාතික පොසොන් උළෙලට සියල්ල සූදානම්

'මෙත් දියෙන් සිත් නිවමු' තේමාව කර ගත් අනුරාධපුර ජාතික පොසොන් උළෙල මේ මස 13 වැනි දා සිට සතියක් පුරා පැවැත්වේ.

පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙවර අනුරාධපුර ජාතික පොසොන් උළෙල පැවැත්වීමට පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි අනුරාධපුර දිසාපති ආර්. එම්. වන්නිනායක මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මෙවර වෙසක් උත්සවය වෙනදාටත් වඩා ප්‍රතිපත්ති පුජාවලට ප්‍රමුඛත්වය ලබා දී පැවැත්වූවා. ඒ ආකාරයටම කිසිදු අඩුපාඩුවකින් හෝ සීමාවකින් තොරව සුපුරුදු ආකාරයට අනුරාධපුර සහ මිහින්තලේ පුද බිම් කේන්ද්‍ර කර ගනිමින් සතියක් පුරාවට ජාතික පොසොන් උළෙල සංවිධාන කෙරෙනවා. පොසොන් සතිය මේ මස 13 සිට 18 දක්වා ක්‍රියාත්මක වෙනවා. මෙවර පොසොන් උත්සව සමයේ අවම වශයෙන් බැතිමතුන් මිලියනයක් පමණ අනුරාධපුර සහ මිහින්තලය පුද බිම්වලට පැමිණෙතැයි පොසොන් උත්සව කමිටුව බලාපොරොත්තු වෙනවා. වන්දනාකරුවන්ට අවශ්‍ය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, ඉදුම් හිටුම් පහසුකම් සහ විශේෂයෙන්ම දැඩි ආරක්ෂාව සලසාදීමට කටයුතු කරනවා. අනුරාධපුර මහ නගර සභාව ඇතුළු රාජ්‍ය අංශයේ සියලු ආයතන ජාතික පොසොන් උත්සවය සාර්ථක කර ගැනීමට උපරිම සහාය ලබා දෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් හා මස් වෙළෙඳසල් මේ කාලයේ සම්පුර්ණයෙන්ම වසා තැබෙනවා. මේ මස 12 වැනි දා පැරණි චාරිත්‍රානුකූලව තිසා වැවේ ජලය ඉසුරුමුණිය රජමහා විහාරස්ථානය අසල සිට පෙරහරින් බෝ මළුව පන්සල ආසන්නයේ විශේෂ පිරිත් මණ්ඩපය කරා පොසොන් සති පිරිත පේ කිරීමට ගෙන එනු ලබනවා.

අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි

පාස්කු ඉරිදා උගත් පාඩම් ද සිහියේ තබා ගනිමින් සැබැවින්ම පේවී සුදුවතින් සැරසී අනුරාධපුරය අටමස්ථානය ඇතුළු මිහින්තලය වන්දනාමාන කිරීමට පැමිණිය යුතු බව බැතිමතුන්ගෙන් ඉතා කාරුණාවෙන් ඉල්ලා සිටිනවා. රජය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවගේ ආරක්ෂාව ගැන සහතික වන නිසා ආරක්ෂක උපදෙස් අකුරට පිළිපදිමින් වන්දනාමාන කටයුතු සිදු කිරීමට සහ සංවර ලෙස හැසිරීමට වග බලා ගත යුතුයි. නැටුම්, ගැයුම්, වැයුම් වැනි විසුක දස්සනවලින් තොරව මත් පැන්, මත් කුඩුවලින් බැහැරව මේ පුද පුජා කටයුතු සිදු කර ගැනීමට අදිටන් කර ගත යුතුයි. විනෝද සැණකෙළි කිසිවක් පුද බිම් ආසන්නයේ නොපැවැත්විය යුතු බවටත් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. මේ ජාතික පොසොන් උළෙලේ තේමාව 'මෙත් දියෙන් සිත් නිවමු' යන්නයි.

අනුරාධපුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා

උත්සව සමයේ අනුරාධපුර මිහින්තලය පුද බිම්වලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාවට නිල ඇඳුමෙන් යුතු සහ සිවිල් පොලිස් නිලධාරීන් 460ක් සේවයේ යෙදවීමට පියවර ගන්නවා. සැකයකින් බියකින් තොරව වන්දනාමාන කටයුතු කිරීමට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සපයනවා. අමතරව පොලිස් ජීවිතාරක්ෂක සේවය ද ක්‍රියාත්මකයි. පුජ්‍යස්ථානයට ඇතුල් වන බැතිමතුන් අනවශ්‍ය බඩු බාහිරාදිය ගෙන එ්මෙන් වැළකී අත්‍යාවශ්‍ය පුජා භාණ්ඩ පමණක් රැගෙනඑන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එමඟින් ආරක්ෂක සේවාවලට පරීක්ෂා කිරීමේ කටයුතු ඉතා ඉක්මනින් සිදු කිරීමට අවස්ථාව සැලසෙනවා. එමෙන්ම තමන් අවට ගැවසෙන සැක සහිත පුද්ගලයන් සහ වාහන පිළිබඳව මෙන්ම එවැනි පාර්සල් ඇතුළු බඩු බාහිරාදිය ඇත්නම් ඒ පිළිබඳවත් වහාම ළඟම සිටින ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. එය ජාතික මෙහෙවරක්.

අනුරාධපුර දිසාපති ආර්. එම්. වන්නිනායක 
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ නිමල් විජේසිංහ


නව අදහස දක්වන්න