පැප් පරීක්ෂණයට යොමු වී ගැබ්ගෙල පිළිකා ඇත්දැයි හඳුනාගන්න | දිනමිණ

පැප් පරීක්ෂණයට යොමු වී ගැබ්ගෙල පිළිකා ඇත්දැයි හඳුනාගන්න

කාන්තාවන් පැප් පරීක්ෂණට යොමු වීම හරහා ගැබ්ගෙල පිළිකා හඳුනා ගත හැකි බවත්, මුල් අවධියේදීම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් රෝගය නිට්ටාවටම සුව කර ගත හැකි බවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ, රත්නපුර ශික්ෂණ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සුමිතා පිරීස් මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ මහත්මිය මේ බව පැවැසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පසුගිය දා ( 06) 'ගැබ්ගෙල පිළිකා වළක්වමු' මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේ ද කීවාය.

ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ගර්භාෂය, ඩිම්බ කෝෂ, ගැබ්ගෙල සහ යෝනි මාර්ගය ආදී කොටස්වලින් සමන්විත වෙනවා. මින් ගැබ්ගෙල පිළිකා සංවර්ධනය වෙමින් පවතින රටවලත්, ගර්භාෂය ආශ්‍රිත පිළිකා සංවර්ධිත රටවලත් පුද්ගලයන්ට වැළඳෙන බව හඳුනාගෙන තිබෙනවා. සංඛ්‍යා ලේඛන දත්ත අනුව 2014 දී ගැබ්ගෙල පිළිකා රෝගීන් 1049ක් ද, ගර්භාෂ පිළිකා රෝගීන් 576ක් ද , ඩිම්බ කෝෂ පිළිකා රෝගීන් 900ක් ද වාර්තා වී තිබෙනවා.

ගැබ්ගෙල පිළිකා රෝගය වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක්. එන්නත් මඟින් සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයක් අඩු කර ගැනීමට පුළුවන්. මුල් අවධියේ දී හඳුනාගැනීමෙන් සියයට සියයක් සුව කිරීමට හැකියාව පවතිනවා. ගැබ්ගෙල පිළිකා සඳහා ප්‍රධානවම HPV වෛරසය ( Human Papiloma Virus ) බලපානවා. මෙි වෛරසය ශරීරයට ඇතුළු වී පිළිකා තත්ත්වයක් බවට පත් වීමට වසර ගණනාවක් ගත වෙනවා. මේ කාලයේ දී පැප් පරීක්ෂණය හරහා හඳුනාගැනීම සිදු කළහොත් රෝගය සුව කර ගැනීමට අවස්ථාව පවතිනවා. වයස අවුරුදු 35ට වැඩි ලිංගිකව එකතු වී ඇති කාන්තාවන් මේ පරීක්ෂණයට යොමු වීම වැදගත් වෙනවා. වසර 05කට වතාවක් වයස 35- 60 දක්වා මේ පරීක්ෂණය සිදු කිරීම හරහා රෝගය වැළඳීම වළක්වා ගැනීමට හැකි වෙනවා.

රෝග ලක්ෂණ ලෙස ආර්ථවහරණයට පසුව රුධිර වහනය සිදු වීම, ලිංගික ක්‍රියාවලියෙන් දින දෙක තුනකට පසුව රුධිර වහනය සිදු වීම, ආර්ථව චක්‍රය නිසි පරිදි සිදු නොවීම පෙන්වා දිය හැකියි. මෙහි දී රෝගයට ප්‍රධාන හේතු වශයෙන් අඩු වයසේදී ම ලිංගික ක්‍රියාවලියට භාජනය වීම, වැඩි පිරිසක් සමඟ ලිංගික ක්‍රියාවේ යෙදීම ( බහු භාර්ය සේවනය, එහිදී වෛරසයට භාජනය වන වාර ගණන වැඩි වීම හේතුවෙන්), අඩු ආදායම් තත්ත්වය, ප්‍රතිශක්තිකරණ අඩුවීම, දුම්පානය හෝ දුම් ආඝ්‍රහණය වීම සහ පෝෂණ තත්ත්වය බලපානවා.

මේ රෝගී තත්ත්වයට භාජනය වීම වැළැක්වීමට වයස අවුරුදු 10 -11 දී ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීම ( HPV Vaccination ) සහ පසුව Screening Treatment සුවනාරි සායන හරහා හෝ රෝහල්වලින් පරීක්ෂණ සිදු කෙරෙනවා. මුල් අවධියේ දී ශල්‍යකර්ම මඟින් ද ඊට පසු අවධිවල දී විකිරණ හා රසායනික ක්‍රම භාවිත කිරීම සිදු කරනවා. මේ පිළිකාමය තත්ත්වය පෙනහලු, වසා පද්ධතිය ආශ්‍රිතව පැතිර යෑමට ලක් වුවහොත් එහිදී එය ඉතා දරුණු තත්ත්වයක් වෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ නාරි පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍ය චින්තන හපුඅච්චිගේ මහතා

රෝගීන් වාර්තා වන ප්‍රදේශ අනුව ගත් විට මෙි පිළිකා රෝගී තත්ත්වය වැඩිපුර වාර්තා වන ප්‍රදේශ ලෙස හලාවත, පුත්තලම, මීගමුව, දකුණු ප්‍රදේශ දැක්විය හැකියි. ලිංගිකව එකතු වන සියයට අසූවකගේම මේ වෛරසය පවතිනවා. නමුත් එය සක්‍රීය වීමට සාධක පවතිනවා. වාර්තා වන ආකාරයට මේ පරීක්ෂණවලට යොමු වන්නේ 53 %ක් පමණ යි. මහරගම අපේක්ෂා රෝහලට වසරකට පැමිණෙන රෝගීන් 900ක් අතරින් ශල්‍යකර්මවලට යොමු කළ හැකි රෝගීන් ගණන වන්නේ 100ක් පමණ යි. ඉතිරි සියල්ලන්ම විකිරණ ක්‍රමවලට යොමු කිරීමට සිදු වෙනවා. මේ විකිරණ ප්‍රතිකාර සඳහා ලක්ෂ 08ක් පමණ එක් පුද්ගලයෙක්ට රජයෙන් මුදල් වැය කරනවා. ලිංගික ශ්‍රමික කාන්තාවන් අතරේ මේ රෝගී තත්ත්වය වැඩි යි. ලිංගිකව එකතු වී නොමැති අය සඳහා මේ රෝගය වැළදීමේ අවදානමක් නෑ.

ගැබ්ගෙල පිළිකා රෝගීන් දිනකට 03ක් පමණ වාර්තා වෙනවා. මේ පිළිකා රෝගී තත්ත්වය අවම කර ගැනීමට ප්‍රාදේශීයවත් ජංගම සායන පවත්වනවා. රජයේ රෝහල් සහ සායනවල දී මේ පරීක්ෂණය නොමිලේ සිදු කරනවා.

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජාලිය ජයසේකර මහතා

පිළිකා තත්ත්වයන් හඳුනාගැනීම මේ වන විට රෝහල් සහ සායන හරහා වැඩි වැඩියෙන් සිදු වෙනවා. 2018 දී රජයේ රෝහල්වලින් පිළිකා රෝගීන් 28,000ක් පමණ අනාවරණය කර ගැනීම සිදු කර තිබෙනවා. දිනකට 76ක් පමණ වාර්තා වී තිබෙනවා.

කාන්තාවන් සඳහා වැළඳෙන පිළිකා රෝගී තත්ත්වයන් ගත් විට ප්‍රථම ස්ථානයේ පියයුරු පිළිකා. දෙවැනිව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා සහ තෙවනුව ගැබ්ගෙල පිළිකා වාර්තා වෙනවා. මේ රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සුවනාරි මධ්‍යස්ථාන හරහා සිදු කර ගැනීමට පුළුවන්.

චන්දිමා කරුණාරත්න 
ඡායාරූප - සිරිපාල හල්වල


නව අදහස දක්වන්න