සිංහල මුස්ලිම් ජනතාව විරසක වීම රටේ ඉදිරි ගමනට බාධාවක් | දිනමිණ

සිංහල මුස්ලිම් ජනතාව විරසක වීම රටේ ඉදිරි ගමනට බාධාවක්

අසේල කුරුළුවංශ
ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි

අන්තවාදී සුළු පිරිසක් විසින් සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියා පදනම් කර ගනිමින් සිංහල සහ මුස්ලිම් ජනතාව භේද වුවහොත් එය රටේ ඉදිරි ගමනට බාධාවක් බව අස්ගිරි පාර්ශ්වයේ මහ ලේඛකාධිකාරි, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේ ද පැවැසූහ.

අතීතයේ පටන් මෙරට සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සාමයෙන් සමඟියෙන් ජීවත් වූණා. මුස්ලිම් ජාතිකයන් ඉතා සුළු පිරිසක් සිදු කළ මේ ප්‍රහාරය පදනම් කරගෙන සමස්ත මුස්ලිම් ජනතාවට චෝදනා එල්ල කළ නොහැකියි.

ආවේගශීලීව සහ හැඟීම්බරව තීන්දු තීරණ නොගෙන දුරදිග බලා තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත්. අපට ආවේණික සංස්කෘතියක් තිබුණත් රටක් ලෙස අප ජාත්‍යන්තරය හා බැඳී සිටින බව තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්. මුස්ලිම් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සියලු දෙනා තනතුරුවලින් ඉවත් වීම මේ මොහොතේ සිදු නොවිය යුතුව තිබූ දෙයක්. මෙමඟින් සිංහල සහ මුස්ලිම් ජනතාව අතර බෙදීම් රේඛාවක් නිර්මාණය වූණා. චෝදනා එල්ල වූ ඇමැතිවරයා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කටයුතු කරන අතරතුර සෙසු අය රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටු කළ යුතුව තිබූණා.

දෙමළ අන්තවාදී කණ්ඩායම් අවි අතට ගෙන රටෙන් කොටසක් ලබා ගැනීමට කළ සටන හේතුවෙන් රට දැඩි අර්බුදයකට ලක් වූණා. එයින් මිදී වසර කිහිපයක් ගිය තැන යළිත් ආගමික අන්තවාදී පිරිසක් සිදු කළ ප්‍රහාරයෙන් රට යළිත් අර්බුදයකට පත්ව තිබෙනවා. මේ ප්‍රශ්නවල දී සාමාන්‍ය ජනතාව අපේක්ෂා කරන ආකාරයට මහ විහාරවලට කටයුතු කළ නොහැකියි. සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව සෙසු ජාතික නායකයන් ද මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙනවා.


නව අදහස දක්වන්න