පොසොන් පෝදා දාන-ශීල භාවනාවලට මුල් තැන දෙන්න | දිනමිණ

පොසොන් පෝදා දාන-ශීල භාවනාවලට මුල් තැන දෙන්න

සිතාරා සේනානි

මෙවර පොසොන් පොහෝ දිනයේ දාන, ශීල, භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දී කටයුතු කරන ලෙස තමන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය මැදිරියක සකසන ලද මණ්ඩපයක සිට බෙලිඅත්ත සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා ආශිර්වාද පරිත්‍රාණ ධර්ම දේශනා වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා(6) පැවති මාධ්‍ය හමුවේදී ය.

රාජ්‍ය අනුග්‍රහය සහිතව රට වැසියන්ට සෙත් පතා මෙම ජූනි මස 11 වැනිදා සිට 16 දක්වා මෙම වැඩසටහනට ක්‍රියාත්මක වේ. මෙම පරිත්‍රාණ ධර්මදේශනා වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය, ඉහළ කටුගම්පොළ,කවුඩුමුන්න, ශ්‍රී ඉන්ද්‍රසරාරාම රජමහා විහාරයේදී ආරම්භ වීමට නියමිත අතර එතැන් සිට බෙලිඅත්ත දක්වා විශේෂ රිය පෙරහැරකින් ද, බෙලිඅත්තේ සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය ඔස්සේ ද මෙම ආශිර්වාද පිරිත් දේශනා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,

වෙසක් මෙන්ම පොසොන් දිනයත් ප්‍රතිපත්තිවලට මුල්තැන දී ක්‍රියාත්මක කළ යුතුයි. එය අගමැතිතුමා මාධ්‍ය වෙතත් ප්‍රකාශ කළා, රජයත් පිළිඅරන් තිබෙනවා. ඒ නිසා එය අපි ක්‍රියාත්මක කරනවා. ඒ අතර ඉදිරියේදී අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර වෙසක්, පොසොන් හා ඇසල පොහොය දින තුන ආගමික ප්‍රතිපත්තියට විහාරස්ථාන භූමියට පමණක් සීමා කරන්න කටයුතු කරනවා.

පාස්කු දිනයේ ඇතිවූ ‍ඛේදනීය සිද්ධීන්වලින් පසු රට යළි ස්ථාවර තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ නිසා පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරයේ පැවැත්වෙන පිංකම් සහ අනෙකුත් ප්‍රදේශවල පැවැත්වෙන පිංකම් සඳහා යෑමේ සැකයක් ප්‍රශ්නයක් දැන් බැතිමතුන්ට නෑ. ඒ සඳහා හොඳ වාතාවරණයක් රටේ ඇතිව තිබෙනවා. අවශ්‍ය ආරක්ෂාව සපයනවා. මිහින්තලේ පෙරහර සඳහා අවශ්‍ය ආරක්ෂාව පොලීසිය ලබා දෙනවා. ඒ වගේම අපි දන්සල් පවත්වන්න එපා කියන්නේ නෑ. හේතුව මේ රට බියෙන් ඈත්වී යථා තත්ත්වයට පත් විය යුතු නිසයි. අපේ ඉල්ලීම වන්නේ තොරන් ආදිය ප්‍රදර්ශනය කිරීම මේ ආගමික දිනයේ පමණක් අතහැර ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දී කටයුතු කරන ලෙසයි. සමාජය හැදෙන්න නම් ප්‍රතිපත්තිවලට යා යුතුයි. තොරන් ආදිය පැවැත්වීම අනෙකුත් දිනවල සිදුකරන්න පුළුවන්.

ජූනි මාසයේ 22 වැනිදා සවස 6.00ට ලංකාවේ ම ස්ථාන හයසියක බෝධි පූජා පවත්වා රටට සාමය ඇතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 22 වැනිදා සවස 6.00 සිට පැය තුනක් ස්වාමීන්වහන්සේ පන්සිය නමක් පමණ සහභාගිත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් ද පැවැත්වෙනවා.

කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොළ අමරකිත්ති නාහිමි-

බුජ්ජොමුව දුම්රිය ස්ථාන බෝසත් සමාජ සත්කාර සංවර්ධන පදනමේ පින්වතුන් සූදානම් වෙනවා රටට ආශීර්වාද පිණිස ඉතාම වැදගත් වැඩසටහනක් කිරීමට. රටට ආශීර්වාදය අවශ්‍යම වෙලාවක්. බුදුරජාණන් වහන්සේ මේ රටට වැඩම කළේ නිකම්ම නෙවෙයි බොහොම දුරදිග කල්පනා කර බලලයි. උන්වහන්සේගේ දර්ශනය සියවස් ගණනාවක් මේ බිමේ පවතිනවා කියන අධිෂ්ඨානය ඇතිවයි වැඩම කළේ. ඒ දිවයිනට ආශීර්වාද පිණිස විශේෂ රිය පෙරහරක් ආරම්භ කරනවා පිරිත් ධර්ම දේශනා කරමින් මේ මස 12 වැනිදා දඹදෙණිය කවුඩුමුන්න විහාරස්ථානයේ සිට. එහි සිට පාන්දර 5.30ට මේ රිය පෙරහර ආරම්භ කෙරෙනවා බෙලිඅත්ත දක්වා පිරිත් සජ්ඣායනා කරමින්. බෙලිඅත්තේ සිට දුම්රියෙන් මේ පෙරහර කන්කසන්තුරේ දක්වා ගමන් කරනවා පිරිත් සජ්ඣායනා කරමින්. බුදුහාමුදුරුවන්ගේ ආරක්ෂක පිරිසත් ධර්මය දේශනා කරගෙන රටේ විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිදි මේ ආශීර්වාද වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගින්නලියේ ආයුපාල හිමියන්ගේ සමිතිය ඉදිරිපත්ව සිටිනවා. ඒ කාරණයට ආශීර්වාද කරන අතරම, ඒ සමිතිය බලාපොරොත්තු වෙනවා කන්කසන්තුරේ තිස්ස විහාරය ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ගින්නලියේ ආයුපාල හිමි-

'උතුර-දකුණ බුදුන් දකින පෙසොන් උදානය'නමින් වැඩසහටහන පවත්වන්නේ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සෞභාග්‍යය හා යහපත ප්‍රාර්ථනා කිරීම වෙනුවෙනුයි. බුජ්ජොමුව දුම්රිය ස්ථාන බෝසත් සමාජ සත්කාර සංවර්ධන පදනම සහ ඵෙතිහාසික කවුඩුමුන්න රජමහා විහාරස්ථ දායක පිරිස එකතුව මේ වැඩසහටන ක්‍රියාත්මක කෙරෙනවා. මෙහිදී විශේෂයෙන් ස උතුරු ප්‍රද්ශයේ අඩුආදායම්ලාභී පවුල් මෙන්ම ගර්භණී මාතාවන් උදෙසා පෝෂණ මල්ලක් ලබා දීම, පාසල් අධ්‍යාපනය ලබන දරුවන් උදෙසා පොත්පත් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම දෙවනපෑතිස් මහරජතුමා තමන් නමින් ඉදිකරන ලද, අද වනවිට භූමිය පමණක් ඉතිරිවී තිබෙන තිස්ස විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු එහි විහාරාධිපතිත්වය සඳහා ලියාපදිංචිවී ඇති ස්වාමීන්වහන්සේගේ උපදෙස් මත සිදුකිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා සෑම දුම්රිය ස්ථානයක ම දුම්රිය ස්ථානාධිපතිවරුන්, කාර්ය මණ්ඩලය, දුම්රිය රියදුරු නියාමක මහත්වරුන්, දුම්රිය මෙහෙයුම් අංශය, දුම්රිය ආරක්ෂක අංශය, දුම්රිය පරිපාලන නිලධාරි මණ්ඩලය, වත්මන් දුම්රිය ගමනාගමන අධිකාරිතුමා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිතුමාගෙන් ලැබෙන සහයෝගය අපි අගය කරනවා. ඒ වගේම ප්‍රවාහන ඇමැතිතුමා සහ ප්‍රවාහන රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහත්වරු ද මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙනවා. උතුරේ ආඥාපතිතුමාගෙන් මෙන්ම, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරි මණ්ඩලවලින් ලැබෙන සහයෝගය අගය කරනවා. දුම්රිය මගී සංගම් ඒකරාශී වී මේ වෙනුවෙන් දන්සල් කිහිපයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කරන බව දැනුම්දී තිබෙනවා. මේ සත්ක්‍රියාවලිය අපි සිදුකරන්නේ දෙවැනි වතාවටයි.

දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා-

පරිත්‍රාණ ධර්ම දේශනාව සිදුකෙරෙන මැදිරිය සහිත දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් 13 වැනිදා උදේ 6.45ට පිටත්වී යාපනය දුම්රිය ස්ථානයට 14 වැනිදා 24 පැයට ළඟාවීමට නියමිතයි. ප්‍රවාහන ඇමැතිතුමා සහ රාජ්‍ය ඇමැතිතුමාගේ උපදෙස් පරිදි එම දුම්රිය මුදල් ගෙවා ගමන් කිරීම සඳහා මගීන්ට පහසුකම් සලසා තිබෙනවා. මේ දුම්රිය බෙලිඅත්තෙන් පසු, මාතර, ගාල්ල, කළුතර දකුණ, කොළඹ කොටුව, ගම්පහ, වේයන්ගොඩ, කුරුණෑගල, අනුරාධපුරය, යාපනය සහ කන්කසන්තුරය දුම්රිය ස්ථානවල නැවැත්වීමට කටයුතු කරනවා.

ගුරුකන්ද විහාරස්ථානය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්දැයි මාධ්‍යවේදියකු මෙහිදී මතු කරන ලද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ එම විහාරය පුරාවිද්‍යා භූමියක් බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මැදිහත් වන බවත්, ඒ පිළිබඳ ලැබී තිබෙන අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් ය. එසේම අධිකරණය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට නියමිත බවත් ය.

ඡායාරූපය- කැළුම් ලියනගේ

 


නව අදහස දක්වන්න