රටේ සෑම බිම් අඟලක්ම සුරකින්න අප බැඳී සිටිනවා | දිනමිණ

රටේ සෑම බිම් අඟලක්ම සුරකින්න අප බැඳී සිටිනවා

රටේ සෑම බිම් අඟලක්ම ආරක්ෂා කර ගැනීමට රටේ සියලු දෙනා ඇප කැපවිය යුතු බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ හම්බන්තොට, සූරියවැව ඉදි වූ 'සෙන්පත් සුරනිමලගම' 197 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ ජනහමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

'අප ජීවත් වන්නේ තීරණාත්මක අවධියකයි. ජීවන ගමන ක්‍රියාත්මක වන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම කාල පරිච්ඡේදයකයි. මේ කාල පරිච්ඡේදය තුළ මිනිසත්කම අගයන සහ රජකරවන මානුෂීය ගුණාංග වලින් සපිරුණු ශක්තිමත් මාතෘ භූමියක් නිර්මාණ කිරීමට අපට සිදු වනවා. අප රටක් ලෙස ශක්තිමත් වන්නටත්, තේජස්වන්ත වන්නට, යහපත් ප්‍රතිරූපයන් සහිත රාජ්‍යයක් නිර්මාණය කරන්නට අවශ්‍යයි. අප අපගේ ශක්තිය භාවිතා කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මෙරට සෑම බිම් අඟලක්ම සුරක්ෂා කරන්නට අප සියලු දෙනා ඇප කැප වන්නට ඕනෑ. අප ඒ කාර්යය ඉටු කරන විට ශක්තිමත් රාජ්‍යයක්, රාජ්‍ය ප්‍රතිපත්තියක් සහ රාජ්‍ය දර්ශනයක් නිර්මාණය වීම තුළ අනිවාර්ය ප්‍රතිඵලයයි.

බලවත් ශ්‍රී ලංකාව තුළ රට සුරකින්නට සහ ස්වරීත්වය ආරක්ෂා කරන්නට නම් රටක් ලෙස සියලු දෙනා එකතු විය යුතුයි. මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ අප එකාමෙන් අත්වැල් බැඳගෙන ජීවත් වන්නට ඕනෑ. රට තුළ පවත්නා සෙසු ආගම් සහ ජන කොට්ඨාස සමඟ එකමුතුව කටයුතු කළ යුතුයි. එවිට රට ශක්තිමත් වනවා. යම් ජන කොට්ඨාසයක් පීඩනයට තැලීමකට පෙළීමකට ලක් වනවා නම් විවිධ හේතු මත මේ රට විනාශ කරන්නට ජාත්‍යන්තර බලවේග බලා සිටිනවා.

රට දැය සමය ගැන මෙරටේ ජනතාවට සැබෑ ඇල්මක් තිබෙනවා නම් ජාතිය, ආගම කුමක් වුවත් අප අන්තවාදය ප්‍රතික්ෂේප කළ යුතුයි. අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලුම ත්‍රස්ත කණ්ඩායම් අප විනාශ කර තිබෙනවා. ත්‍රස්තවාදයට මෙරට තැනක් නැහැ. ඒ සියලු ත්‍රස්තවාදී බලවේග අප රටක් ලෙස විනාශ කර දමනවා. ත්‍රස්තවාදීන් විනාශ කරනවා යැයි කියා ජාති, ආගම් භේද අවුලුවා අනවශ්‍ය ගිණි කඳු නිර්මාණය කරන්නට අවශ්‍ය නැහැ. ජාති ආගම් මත ගිණි කඳු නිර්මාණය වීමෙන් එහි පාඩුව සිදු වන්නේ මුළු මහත් ශ්‍රී ලංකාවටමයි. සමහර මැද පෙරදිග රටවල් යුද්ධයෙන් ත්‍රස්තවාදයෙන් විනාශ වුණා සේම මෙරට විනාශ කරන්නටත් ඇතැම් අයට අවශ්‍යතාවක් තිබෙනවා. ඒ සඳහා කිසිවකුට ඉඩ තබන්නට දෙන්න එපා.

මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ අනෙකුත් සියලුම ජන ‍කොට්ඨාස එකමුතු කර ගනිමින් සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් ජීවත් විය යුතුයි. එවිට අපට රට රැක ගැනීමට හැකිවනවා. කවුරුන් කුමක් කීවත් ජාති ආගම් මත ගිණි කඳු නිර්මාණය වීම තුළ මෙරට ඒකීයභාවය, ස්වරීත්වය සම්පූර්ණයෙන්ම විනාශ වනවා. නොයෙකුත් අධිරාජ්‍යවාදී බලවේග කුමන හෝ හේතුවක් මත මෙරටට ඇතුළු වීමට බලා සිටිනවා. රට තුළ කලබල ඇති කර විනාශයක් නිර්මාණය කිරීමට බලා සිටිනවා. ඒ විනාශය තුළින් අධිරාජ්‍යවාදී මහා බල පරාක්‍රමය ව්‍යාප්ත කරන්නට ඔවුන්ට හැකි වනවා. ඒ නිසා සියලු දෙනා එකට එකතු වී වාහාබ් ත්‍රස්තවාදය විනාශ කරන්නට ඕනෑ. අපගේ ආරක්ෂක අංශ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය විනාශ කරන්නට උපරිම සහයෝගය ලබාදී තිබෙනවා. අදත් හෙටත් අනාගතයේදීත් එය අපට ලබා දෙනවා. වහාබි ත්‍රස්තවාදයේ කැලිෆේට් කලාපයට මෙරට ඇතුළත් කරව න්නට අප කිවිවිටක ඉඩ තබන්නේ නැහැ.

විවිධ ජාතීන් ආගම් වලට අයිති පුද්ගලයින්ගේ ව්‍යාපාරික ස්ථාන, නිවෙස් විනාශ කර ඔවුන්ට හිරිහැර කර කවදාවත් මේ රට සුරකින්නට නොහැකියි. විනාශකාරී බලවේග සියල්ල ක්‍රියාත්මක කරන්නේ බලයට මාන බලා සිටින කොට්ඨාසයි. බලයට එන්නේ කෙසේද කියා එළිපිට නොව පිටුපස සිට ඔවුන් පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. රට විනාශ කර හෝ ගිණි ජාලා තුළින් තමන් රජ වන්නේ යැයි සිහින දකින ඇතැම් අය මේ රට ගිණි තබන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඔබ සැබෑ බෞද්ධයෙක් නම් මේ රට විනාශ කරන මේ ප්‍රයත්නයන්ට රැවටෙන්නට හෝ හවුල් වන්නට එපා යැයි මා පවසනවා. විනාශකාරී ක්‍රියා තුළින් අගමැති සිහිනය, ජනාධිපති සිහිනය සැබෑ කර ගන්නට ඇතැමුන් බලා සිටිනවා. රට විනාශ කර ජනපති, අගමැති පුටුවට යන්නට කිසිවකු හෝ උත්සාහ කරනවා නම් රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුත් ලෙස තමන් කිසිවිටක ඉඩ නොතබන බව වගකීමෙන් ප්‍රකාශ කරනවා.

මෙම උදා ගම්මානය ජනතා අයිතියට පත්වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබාදීමට අප කටයුතු කරනවා. අද දින මෙම ගම්මානයේ පවුල් 24ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 72ක් වටිනා බිම් කොටස් 24ක අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150කට රුපියල් ලක්ෂ 300ක් වටිනා 'විසිරි නිවාස ණය' ලබා දෙනවා. පවුල් 20කට රුපියල් ලක්ෂ 100ක් වටිනා ග්‍රාම ශක්ති නිවාස ආධාර ලබා දෙනවා. පවුල් 55කට රුපියල් ලක්ෂ 110ක් වටිනා ශිල්ප සවිය වැඩසටහන යටතේ පුහුණු ශිල්පීන් 60 දෙනෙකුට රුපියල් ලක්ෂ 30ක් වටිනා ප්‍රතිලාභ ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 30 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙනවා.

අද අප නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා රට පුරා ඉලක්ක සහිත පැහැදිලි ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025දී රටේ සැමට සෙවණ ලබාදීමයි. අපගේ පළමු ඉලක්කය වන්නේ මෙම වසරේ සැප්තැම්බර් මස අව සන් වන විට රට තුළ උදා ගම්මාන 2500ක් ඉදිකිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 2319ක පමණ ඉදිකිරීම් කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 181ක් අප ඉදි කළ යුතුයි. අප කෙසේ හෝ මෙම ඉලක්කය ජය ගන්නවා.


නව අදහස දක්වන්න