ශ්‍රී ලාංකීය ජාතිය අභියෝග හමුවේ සැලෙන්නේ නෑ | දිනමිණ

ශ්‍රී ලාංකීය ජාතිය අභියෝග හමුවේ සැලෙන්නේ නෑ

ශ්‍රී ලාංකීය ජාතිය, ජයග්‍රහණ හමුවේ සාමයෙන් සතුටු වෙනවා වගේම අභියෝග හමුවේ නොසැලෙන ජාතියක් බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මාන්කුලම් හි දී පෙරේදා (05) පැවැති ලෝක පරිසර දිනයට සමගාමීව ඒ 9 මාර්ගයේ පැළ 1000 ක් සිටුවීමේ ග්‍රීන් කොරිඩෝර් ( GREEN CORRIDOR ) ව්‍යාපෘතිය ආරම්භ කරමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද කීවේ ය.

මේ ඒ 9 පාර මෑත ඉතිහාසයේ අපේ දේශපාලන ඉතිහාසයේ වේදනාවත්, කඳුලත්, ලෙයත්, විශ්වාසයත්, අධිෂ්ඨානයත්, පරාජයත්, ජයග්‍රහණයත් සනිටුහන් කළ පාරක්. ඒ නිසා මේ පාර අපට සුවිශේෂයි. ගැඹුරින් ඈත් වී තිබුණු, කඩා වැටී තිබුණු, සමාජ දෙකක නැවතත් එක් කිරීමේ ව්‍යුහාත්මක පාලම හැටියටයි මං මේ පාර දකින්නේ. මේ පාර දිගේ අහිංසකව, බලාපොරොත්තු පොදි බැඳගෙන දකුණෙන් පැමිණි තරුණ තරුණියන් කී දෙනෙකුගේ ආත්ම සුසුමයන් මේ පාරේ වැටෙන්න ඇතිද ? කී දෙනෙක්ගේ ලෙය මේ පාර තෙත් කරන්නට ඇති ද? අප ඒ ඉතිහාසය ගත කර ඉවරයි. මාගේ මාතෘභූමියට එරෙහිව, ඔබ අපගේ මාතෘභූමියට එරෙහිව අද මේ වනවිට තවත් අභියෝග රාශියක් ඇති බව මා නොකීවාට ඔබ දන්නවා. නමුත් අද, මේ ඒ 9 පාරේ අපි සිටුවන සෑම පැළයක්ම, දමන සෑම වතුර බිඳක්ම අපිට මතක් කර දෙන්නේ, අපි ජයග්‍රහණයන් හමුවේ සාමයෙන් සතුටු වෙනවා වගේම අභියෝග හමුවේ පසු නොබසින ජාතියක් හා සමාජයක් යන සත්‍යයයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජනරාල් එස්.බාලචන්ද්‍රන්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි කලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජී.වී. රවිප්‍රිය, යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද යන මහත්වරුන් සහ උතුරු පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටිය හ.

 

නව අදහස දක්වන්න