අගමැති-ආරක්ෂක රාජ්‍ය ඇමැති පොලිස්පති ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නෑ | දිනමිණ

අගමැති-ආරක්ෂක රාජ්‍ය ඇමැති පොලිස්පති ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නෑ

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව

අගමැතිවරයා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හෝ පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (06) පැවසීය.

තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි මාස 5 1/2 තුළ කිසිදු අවස්ථාවක බුද්ධි තොරතුරු ජනපති සමඟ සාකච්ඡා නොකළ බවත් බුද්ධි ප්‍රධානියා එම තොරතුරු ලබා දෙන බවට තමන් විශ්වාස කළ බවත් ප්‍රනාන්දු මහතා පැවසීය.

කාරක සභාවේ වැඩ බලන සභාපති පත් කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් විය.

ඇමැති රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, එච්.ඒ. සුමන්තිරන්, ආශු මාරසිංහ, නලින්ද ජයතිස්ස හා හිටපු ඇමැති රවුෆ් හකීම් මහත්වරු සභාවේ සෙසු සාමාජිකයින් ලෙස සාක්ෂිකරුවන්ගේ ප්‍රශ්න විමසූහ.

රාජ්‍ය හා ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය නොමැතිව සාක්ෂි විමසීම ද ඊයේ සිදු කළේය.

ආශු මාරසිංහ මහතා

2018/04/18 නි.පො. ත්‍රස්ත විමර්ශන දිශාව දැනුවත් කිරීමට ඔබතුමා යටතේ තිබෙන අමාත්‍යාංශයක් දැනුවත් කරන කොට ලිපි මඟින් පමණද මෙම දැනුවත් කිරීම කරන්නේ. සාකච්ඡා කරන්නේ නැද්ද?

පූජිත ජයසුන්දර මහතා සාක්කි දෙමින් මෙසේ පැවසීය.

කතා කරන අවස්ථා තිබෙනවා. රැස්කර කතා කිරීම ක්ෂේත්‍රයේ ස්වභාවයේ හැටියට මෙම දේවල් බැහැර වන අවස්ථා තියෙනවා. වැඩ කටයුතු ඉදිරියට අවශ්‍යව පවතින විට නි.පො. සීඅයිඩී සහ අනෙකුත් අංශ මම දැනුවත් කළා.

ආශු මාරසිංහ මහතා

අන්‍යෝන්‍ය සබඳතාව බිඳ වැටීම නිසා පොලිස්පතිවරයාගේ රාජකාරී පැහැර හැරීමක් සිදු වුණාද?

ජයසුන්දර මහතා

ඔව්. නමුත් මම මගේ බලතලත් ලබාදී අවශ්‍ය කටයුතු වලට සුදුසු ක්‍රියාමාර්ග ලබාදීමට මට ඉඩ ලබා දුන්නා. විශ්වාසය තබන්න කිව්වා. නමුත් ඒවා එවැනි ආකාරයෙන් සිදු වූ අවස්ථා මෙන්ම සිදු නොවුණු අවස්ථාත් තිබුණා.

පොලිස් නිලධාරීන් සාමාන්‍ය රාජකාරියට සිටින්නේ අසූපන්දහසක් පමණ. ඒ අතරින් කී දෙනෙක් පැය හයක (6) සේවාව සහ පැය 8 සේවාව සිදු කරන්නේද? අපේ පොලිස් නිලධාරීන් කවද්ද පැය 12 කින් පසු රාජකාරී අවසන් කරන්නේ. ඊට පිළියම් සෙව්වත් ඊටත් පිළිතුරු ලැබී නෑ.

ඩිරෙක්ටර් එස්.අයි.එස්ගෙන් දුරකථන ඇමතුමක් එනවා. ආරක්ෂක ලේකම්තුමාගෙන් රාත්‍රී 6.30 - 8.00 අතර කාලයේ දී හෙට දිනය භයානක දිනයක් විය හැකි බව කිව්වා. ලේකම්තුමා දැනුවත් කිරීමෙන් පසු ඒ අවස්ථාවේ මම අනිත් සියලු දෙනාට දැනුම් දුන්නා මේ වගේ අවධානම් තත්ත්වයක් තියෙනවා කියලා කිව්වා. එහෙම අවධානමක් පැවසුවා මිසක් මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් හෝ යම් කිසි දෙයක් සාකච්ඡා කර දැනුම්දීමක් සිදු වුණේ නෑ. එහෙත් ඒ වගේම අවධානම් තත්ත්වයකදී එය දැනුම් දිය යුත්තේ කවුරුන්ද මෙවැනි දෙයක් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දිය යුතුයි කියල ප්‍රැක්ටිස් එකක් තිබුණේ නෑ. අප්‍රේල් මාසයේ 20 වනදා බව කීවත් මෙය කිව්වම මොනවද මම කරන්නේ. මට පුළුවන් හැටියට මම දැනුම් දුන්නා.

ජයම්පති වික්‍රමරත්න මහතා

කිසිදු ඩීඅයිජී කෙනෙකු මෙම අනතුර දැනගත් පසු මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගත්තාද?

සරත් ෆොන්සේකා මහතා

මෙවැනි ආරංචියක් දැනගත් පසු ඉහළ මට්ටමේ නිලධාරියා තමා මේ සඳහා ක්‍රියාත්මක වීම ආරම්භ කළ යුත්තේ. නමුත් ලැබුණු ආරංචිය පහළ නිලධාරීන් දැනගැනීම හරහා කුමක් කරන්නද? අපි යුද්ධයක් කරනවා දැක පාරවල් වහනවද? කුමන ක්‍රියාමාර්ගයක් ගන්නවාද? කියල අප්‍රේල් 9 වැනිදා සිට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට හැකියාවක් ලැබී නැහැ. 9 වැනිදා සිට මේ සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබුණා නම් 21 වැනිදා අපට මේ ක්‍රියාන්විතය බය නැතුව සිදු කරන්න තිබුණා. නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබී නැහැ.

රවුෆ් හකීම් මහතා

මෙවැනි ආකාරයේ දැනුවත් කිරීමක් සිදු වුණා නම් පාස්කු ඉරිදා දවස මේ සඳහා සුවිශේෂී විය හැකි බව කාටවත් වැටුහුණේ නැද්ද?

සුමන්දිරම් මහතා

මේ වගේ බැරෑරුම් තත්ත්වයක දී තීරණ ගන්න ඉහළ තනතුරු වල පුද්ගලයන් බව අපි දන්නවා. අප්‍රේල් (9) වනදා ලබා දුන් තොරතුරු අදාළව ජාතික බුද්ධි ප්‍රධානියා මෙය ඔබට පැවසූ පසු ඔබ ඇසුවේ නැද්ද දේශපාලන නායකයන් මේ පිළිබඳ දැනුවත්ද කියා. ඔබ කිව්වද මොනවා හරි කුමන ආකාරයක උපදෙසක් හෝ ලබා දුන් නැද්ද?

ජයසුන්දර මහතා

නැහැ. සීඑන්අයි ආයතනය තමා මෙවැනි තොරතුරු පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නේ. මට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ලෙස එම තොරතුරු මම හුවමාරු කරගත්තා. ජාතික බුද්ධි ප්‍රධානීන් සියලු දේ මට කියන්න බැඳී නෑ. ඔහු කියන ප්‍රමාණයක් පමණක් මම දන්නවා.

ආශු මාරසිංහ මහතා

ඇයි ඔබට කතා කරලා කිව්වේ යම් දෙයක් වෙන්න පුළුවන් කියලා? මොකක්ද හේතුව?

රවුෆ් හකීම් මහතා

එස්අයිඑස් හෝ තොරතුරු සාකච්ඡාවක් තිබිලා තියෙනවා නම් අප්‍රේල් (9) වෙනිදා ලැබිලා තිබුණු එම ඉන්ටලිජන්ට් රිපෝට් එක ගැන කතා කරලා නැද්ද?

ජයසුන්දර මහතා

මෙම බුද්ධි තොරතුරු ආරක්ෂක රැස්වීමේ කතා නොවූ බව මම හවස දැනගත්තා.

ආශු මාරසිංහ මහතා

2018/10/23 වනදා පසු ඔබ ආරක්ෂක කවුන්සිලය සහභාගී නොවුණු බව ඔබ පැවසුවා. ඔක‍්තෝබර් 23 වැනිදා කලින් ආරක්ෂක කවුන්සලය සිදු වූ ආකාරය පැවැති ආකාරය විස්තර කළොත්?

ජයසුන්දර මහතා

කලින් සිටි රංජිත් මද්දුමබණ්ඩාර, සාගල රත්නායක, තිලක් මාරපන, ජෝන් අමරතුංග යන විෂය භාර ඇමැතිවරු සමඟ මම සෘජුව ගිහින් කතා කරා. සුහදව ගැටලු විසඳා ගත්තා. නමුත් ඉන් පසු පළාත් පාලන මැතිවරණයත් සමඟම සිදු වූ වෙනස්කම් සමඟ යම් යම් වෙනස්කම් සිදුවුණා. අපට යම් යම් කරුණු සඳහා හමුවීමට වගේ දේවල්වල දී හුඟක් අපහසුවීම් සිදුවුණා. කනගාටුදායක තත්ත්වයන්ට මුහුණදීමට සිදු වුණා.

‍රවුෆ් හකීම්මහතා

මාවනැල්ල සිද්ධියෙන් පසු මෙම සිද්ධිය පිළිබඳ සී.අයි.ඩී. එක කරගෙන ගිය විමර්ශන මෙම සිද්ධියෙන් පසු යම් කිසි සම්බන්ධීකරණයක් සිදු වුණාද?

පූජිත ජයසුන්දර මහතා

අවශ්‍ය ‍තොරතුරු හුවමාරු වුණා කියා මම හිතනවා. සහරාන්ගෙයි ඔහුගේ අනුගාමිකත්වය පිළිබඳ විමර්ශන සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල නිරත ‍වෙලා සිටියා.

රවුෆ් හකීම් මහතා

මේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන්න කියලා ඔබතුමාට බලපෑමක් ආවද?

ජයසුන්දර මහතා

නැහැ. මට බලපෑමක් සිදු වුණේ නැහැ.

සරත් ‍ෆොන්සේකා මහතා

2017 වර්ෂයේ සිට නාලක සිල්වා මහතා කිව්වා ඔබතුමාට ලබාදුන් වාර්තා හරහා සහරාන් පිළිබඳ පැවසූ බව.

ජයසුන්දර මහතා

ඔහු රැගෙන ආ වාර්තා මාගේකාර්යාලයට පැමිණෙනවා. ඒක ඇත්ත. ඒ සියල්ලගේ පිටපත් මම තියා ගත්තා. එම වාර්තාවල නිශ්චිත කරුණු පසුපස යන්න අවශ්‍ය වුණා. නමුත් එය සංකීර්ණ වුණා. මම නාලක සිල්වා තුන්වතාවක් පමණ ජනාධිපතිවරයා හමුවී මෙම අන්තවාදී කල්ලි පිළිබඳ 2017 වර්ෂයේ සිට තුන්වතාවක් පමණ දැනුවත් කළා.

සරත් ෆොන්සේකා මහතා

නාලක සිල්වා මහතා පැවසුවා සංවිධානය තහනම් කිරීමට ඔහු ක්‍රියාමාර්ග ගත් බව.

ජයසුන්දර මහතා

ඔව්. ඔහු ක්‍රියාමාර්ග ගත්තා. සංවිධානය තහනම් කරන්න ඔහු ක්‍රියාමාර්ග ගත්ත බව ඇත්ත.

ජයම්පති වික්‍රමරත්න මහතා

මේ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතලා ජනාධිපතිවරයාවත් 3 වරක් දැනුවත් කළද කිසිදු දෙයක් ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාව නොලැබුණා ද?

ජයසුන්දර මහතා

මම වරදක් කියනවා නොවේ. නමුත් ඊට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වුණා. නිවැරැදිව නිශ්චිත ආරක්ෂක වැඩපිළිවෙළක් තිබුණේ නෑ.

ජයම්පති වික්‍රමරත්න මහතා

ඔබතුමා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක කවුන්සිලය රැස්වීම් වලට ගියාද?

ජයසුන්දර මහතා

ඔව්. මම අප්‍රේල් (23) වනදා ගියා. එය තමා මාගේ අවසන් ආරක්ෂක කවුන්සිලයට සහභාගීවීම.

ජයම්පති වික්‍රමරත්න මහතා

එදා එම ආරක්ෂක කවුන්සලේ හිටියේ වෙනදා සිටින සාමාන්‍ය සාමාජිකයන් ද?

ජයසුන්දර මහතා

ඔව්. සාමාන්‍යයෙන් වෙනදා ඉන්න පිරිසම තමා සහභාගී වී සිටියේ.

සුමන්දිරම් මහතා

ඔබතුමාට පොලිස්පති ධුරයෙන් ඉවත් වෙන්න බල කළාද? කවුරුන්ද බල කළේ?

පූජිත ජයසුන්දර මහතා

මම ඒ පිළිබඳ පවසන්න කැමති නෑ. නමුත් අප්‍රේල් 25වෙනි දා හැන්දෑවේ 6.30 විතර ජනාධිපතිවරයා කතා කරලා කිව්වා 8ට විතර මුණ ගැහෙන්න කියලා. මම ඒ වෙලාවේ ජිම් එකේ හිටියේ. මට ජනාධිපතිවරයා හමුවට ගිය පසු මෙම සිද්ධිය සම්බන්ධව කිසිදු වගකීමක් මම භාරගත්තේ නෑ. මට කවුරුත් කිව්වේ නැහැ. ආරක්ෂක කවුන්සිලේදීවත් ඔබ මට කිසිවක් කිව්වේ නැහැ. ඔබ මෙහි සම්පූර්ණ වගකීම අනිවාර්යෙන් ඔබ භාරගත යුතුමයි. ඒ වගේම මෙම සිද්ධිය පිළිබඳ මම විමර්ශන කමිටුවක් පත් කළා. මා හරහා කුමන පරීක්ෂණයක් සිදු කළත් එම පරීක්ෂණය හරහා ඔබ වරදකරු වෙනවා. එම නිසා ඔබ පැන්ෂන් එකක් නැතුවම ගෙදර යනවද? වරද භාරගෙන ස්වේච්ඡාවෙන් ඉවත් වෙනවද කියා ජනාධිපතිවරයා මගෙන් ඇහුවා. ඒ අවස්ථාවේ මම සුහදව කතා කළා. මම සීඑන්ඒ එකෙන් මට ලැබුණු වාර්තා සියල්ල ජනාධිපතිවරයාට පෙන්නුවා. මගේ රාජකාරී කාලයේ මම නම කැත කරගෙන රාජකාරියට වංචා කර නෑ. ඒ වගේ නිලධාරියෙක් වෙන මම පැන්ෂන් එකක් නැතුවම ගෙදර යනකොට මගේ දරු පවුලට මොනවා හිතෙයිද කියලා ඇහුවා. ඒ කතාව 8.45 වෙනකොට ඉවර වුණා. 25වෙනි දා මට නැවත දුරකථන ඇමතුමක් ආවා. ජනාධිපති මට තාම ලිපිය දුන් නෑ කිව්වා. ඊට පස්සේ 29වෙනිදා මම අනිවාර්ය නිවාඩු යැව්වා.

ජාතික ආරක්ෂාව විශාල වශයෙන් කඩා වැටී තිබුණා නිසා මෙම විශාල අතපසු වීම සිදු වුණා. ආරක්ෂක අමාත්‍යාංශය හංගා නිවැරදිව කටයුතු කරන්න තිබුණා. මට මාස ගණනාවක් ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් වෙලා හිටියා.

ජනමාධ්‍ය පැවසුවා පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව. පොලිස් නිලධාරීන් ඉතාමත් අපහසුතා මැදද කටයුතු කළා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා

ශ්‍රී ලංකා නාවික හමුදාවට උප ලුතිනන් වරයකු ලෙස මා සේවයට එක් වුණා. කුච්චවේලි නාවික අනුකණ්ඩය භාරව කටයුතු කළා. 1994 අග්‍රාමාත්‍ය ලේකම් වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරය, ගුවන් තොටුපළ අධිකාරී සභාපති, තැපැල් සේවක ලේකම්, මහජන බැංකුවේ හා ස්වාධීන රූපවාහිනි සභාපති ලෙස ආයෝජන මණ්ඩල සභාපති, ඔලිම්පික් කමිටු සභාපති ලෙස සිටියා. 2018-10-30 සිට ආරක්ෂක ලේකම් වූ මා 2019 අප්‍රේල් 25 දින දක්වා කටයුතු කළා.

මා ලේකම් වූ පසු ජාතික ආරක්ෂක කවුන්සිලය 4 වතාවක් රැස්වුණා. 2018-11-13 දෙසැම්බර් 04, 2019 ජනවාරි 04, 2019 පෙබ. 19 දින රැස් වුණා.

ජයම්පති මහතා

ජාතික ආරක්ෂක කමිටුව මොකක්ද?

ප්‍රනාන්දු මහතා

ආරක්ෂක මණ්ඩල විධිහට කැඳෙව්වේ මේ හතර විතරයි. ජනපතිවරයාට නොයෙකුත් රැස්වීම් කැඳවිය හැකියි. ආරක්ෂක කවුන්සිලය මෙය පමණයි.

ජයම්පති මහතා

අගමැතිතුමාව කැඳෙව්වාද?

ප්‍රනාන්දු මහතා

නෑ. එකකටවත් කැඳෙව්වේ නෑ. මේ හතරෙම අගමැති වරයෙක් හිටියේ නෑ. මම ඇහුව ඇයි කියල.

ආරක්ෂක රාජ්‍ය ඇමැති පොලිස්පති හෝ අගමැති ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නෑ.

ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගේ කාර්යාලයෙන් තමයි ජාතික ආරක්ෂක මණ්ඩලයේ න්‍යාය පත්‍රය හැදුවේ.

සුමන්තිරන් මහතා

ආරාධනා ලැයිස්තුවක් දුන්නාද?

ප්‍රනාන්දු මහතා

නෑ. එතුමා කිව්වේ නොකැඳවන අය විතරයි. මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු, ජනාධිපති ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, මාණ්ඩලික ප්‍රධානීන්, රාජ්‍ය බුද්ධි ප්‍රධානි.

රාජිත සේනාරත්න මහතා

ආරක්ෂක මණ්ඩලය සතිපතා තිබුණා කියලා දන්නවද?

ප්‍රනාන්දු මහතා

දන්නවා. යුද්ධ කාලේ සතියකට ඉන් පසුව සති දෙකකට වරක්.

සරත් ෆොන්සේකා මහතා

සහභාගී විය යුත්තේ කවුද?

ප්‍රනාන්දු මහතා

ජනපති, අගමැති, රාජ්‍ය ඇමැති, ජනපති, අගමැති ලේකම්වරු, ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි අංශ ප්‍රධානී. හමුදා බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නාවික හා බුද්ධි ප්‍රධානි යන පිරිස කැඳවිය යුතුයි.

ආශු මාරසිංහ මහතා

අප්‍රේල් 9 බුද්ධි රැස්වීමට ඔබ සිටියද? මොනවද එදා සාකච්ඡා කළේ?

ප්‍රනාන්දු මහතා

මේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් මට තොරතුරු ලැබුණේ 8වෙනි දා. ජාතික බුද්ධි ප්‍රධානියාට මේ තොරතුරු 8වෙනි දා ලැබුණා. අපි එදා අපිට ඉතා කාර්යබහුලයි. සිසිර මෙන්ඩිස් මහතා මට මේක කිව්වා. සර් වෙන්නට පුළුවන්! ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් තියෙනවා. ටොප් ‍සීක්‍රට් කිව්වා. මම කිව්වා පසුවදා ගමු කිව්වා.

ෆොන්සේකා මහතා

එහෙත් ගත්තේ නෑ

ප්‍රනාන්දු මහතා

ජාතික බුද්ධි අංශ ප්‍රධානියා මේ ගැන කතා කළේ නෑ.

ෆොන්සේකා මහතා

ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ගත්තේ නෑ.

ප්‍රනාන්දු මහතා

මම ඇහුවා ඊයේ ලිපිය ගැන කතා කළේ නෑ නේද කියලා. එතකොට රාජ්‍ය අංශ ප්‍රධානියාගෙන් ඔහු යමක් ඇහුවා.

මේ එවපු තොරතුරු විශ්ලේෂණ කර එව්වේ නෑ. විශේෂ වැදගත්කම පිළිබඳ බුද්ධි අංශ අධ්‍යක්ෂ පැහැදිලි කළෙත් නෑ. ලංකාවේ බුද්ධි අංශ විමර්ශනය කරල එව්වේ නෑ.

ෆොන්සේකා මහතා

විදේශ බුද්ධි තොරතුරක් දෙන කොට එය විශ්ලේෂය කරන්න අපිට බෑ. එහෙම කරලත් වැඩක් නෑ. එම බුද්ධි තොරතුරට රැස්වීමේ දී විශේෂ සැළකිල්ලක් දැක්වූයේ නෑ නේද?

ප්‍රනාන්දු මහතා

ගත්තේ නෑ

රවුෆ් හකීම් මහතා

ඔබ වගකිවයුතු තනතුරක් ඔබතුමා තමයි බලධාරියා.

ප්‍රනාන්දු මහතා

මම ආරක්ෂක ලේකම් වෙලා දවස් 2කට පසුව ජනාධිපති හමුවුණා. එස්අයිඑස් වාර්තාවක් මා සතුව තිබුණා. ජනාධිපතිවරයා කිව්වා බුද්ධි අංශ ප්‍රධානියා ඒ වගේ වාර්තාවක් නැහැ. ඉන් පසුව මාස 5 1/2ක් යනකම් බුද්ධි තොරතුරු ගැන මා ජනපති සමඟ කතාකළේ නෑ. බුද්ධි අංශ ප්‍රධානියා මට කිව්වා වසර හතරක් තිස්සේ ඔහු තමයි බුද්ධි තොරතුරු ජනාධිපතිට දැනුම් දෙන්නේ කියලා.

ෆොන්සේකා මහතා

තව්හිද් ජමාද් ගැනද කිව්වේ?

ප්‍රනාන්දු මහතා

නෑ නෑ වෙන වෙන ඒවා. තවුහිද් ගැන කියවුණේ මාස 5ට පසු හතර හෝ පස් වතාවක්.

ෆොන්සේකා මහතා

වාර්තා වුණා මදිද?

‍ප්‍රනාන්දු මහතා

නෑ නෑ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව. ඒ අයගේ අන්තර්ජාල ක්‍රියා තමයි තිබුණේ.

ෆොන්සේකා මහතා

අන්‍යාගමිකයන්ට හිරිහැර කිරීම ත්‍රස්ත ක්‍රියාවක්නේ.

ප්‍රනාන්දු මහතා

නෑ නෑ ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම

ෆොන්සේකා මහතා

අන්‍යාගමිකයන්ට හිරිහැර කිරීම ගැන කා සමඟ ද සාකච්ඡා කළේ.

ප්‍රනාන්දු මහතා

සාකච්ඡා නොවෙයි මම මේ බුද්ධි වාර්තා දැකලා තියෙනවා. තවුහිද් සංවිධානය අන්‍යාගමිකයන් ඝාතනය කිරීම අගය කරලා තිබ්බේ.

නලින්ද ජයතිස්ස මහතා

ඔබ තුමා පූර්ව නිගමනයක ඉන්නවා ජනාධිපතිතුමා බුද්ධි වාර්තා ගැන දන්නවා කියලා.

ප්‍රනාන්දු මහතා

නිරන්තරයෙන් වැදගත් තොරතුරු යනවා කියලා මා දන්නවා.

රාජිත සේනාරත්න මහතා

සිසිර මෙන්ඩිස් මහතාගේ වාර්තාවල කතෝලික පල්ලිවලට ගහනවා කියලා තියෙනවා.

ප්‍රනාන්දු මහතා

සියයට සීයක් එය තහවුරු කරලා නෑ. ඒ නිසා බුද්ධි අංශ අපිව දැනුවත් කළ යුතුයි මේ ගැන. මොකද කරන්නේ කියලා. අපි සිවිල් නිලධාරීන්. මා පොලිස්පතිට යැව්වා බුද්ධි අංශ ප්‍රධානියා මඟින්. ජාතික බුද්ධි සේවාවෙන් හා රාජ්‍ය බුද්ධි සේවාවෙන් පොලිස්පති ලිපි යැව්වා.

රාජිත සේනාරත්න මහතා

අන්තිමට සිසිර මෙන්ඩිස් මහතා කිව්ව දේ හරි ගියා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ අවදානම ගත්ත නිසා එය බේරුණා.

ප්‍රනාන්දු මහතා

හමුදා බුද්ධි අංශ හා රාජ්‍ය බුද්ධි අංශය අතර සම්බන්ධයක් නොතිබීබ ප්‍රශ්නයක් වුණා.

නලින්ද ජයතිස්ස මහතා

යුද හමුදාපතිගේ දුක් ගැනවිල්ල ආරක්ෂක කවුන්සිලයේ කතා කළේ නැද්ද?

ප්‍රනාන්දු මහතා

මා කිව යුතුම දේ කියනවා. එය මම මාධ්‍ය නැතුව කියන්නම්.

ආශු මාරසිංහ මහතා

රාජ්‍ය බුද්ධි අංශය ඔබ යටතේ ද

ප්‍රනාන්දු මහතා

ආරක්ෂක ඇමැති යටතේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් හිටිය. ඔහු නිල නොවන ඇමැති හැබැයි මම ආරක්ෂක ඇමැති සමඟ සතියකට දෙකකට වත් කතා කර නෑ.

ආශු මාරසිංහ

ජාතික ආරක්ෂාව අනතුරේ කියලා ඔබට හිතුනේ නැද්ද?

ප්‍රනාන්දු මහතා

ජාතික ආරක්ෂාවට තර්ජිත එකම තොරතුර මෙය පමණයි. අප්‍රේල් 8 දින ආපු එක.

හකීම් මහතා

මාවනැල්ල සිද්ධියෙන් පසු බැරෑරුම් ප්‍රශ්නය ගැන ඇමැති මණ්ඩලය පවා කතා කළා. 8 දා තොරතුරු ජාතික ආරක්ෂක තර්ජනයක් කිව්වා. ඔය මාවනැල්ල සිද්ධිය ඉතා භයානකයි. ඒ ගැන විමසිල්ලෙන් සිටීම වැදගත් නේද?

ප්‍රනාන්දු මහතා

ජාතික තව්හිද් ජමාද් ගැන පරීක්ෂණ යනවා කියලා දන්නවා. සතිපතා රැස්වීමේ දී අන්තර්ජාතික සිද්ධි ගැන කතා කළේ බොහොම අඩුවෙන්.

මාරසිංහ මහතා

සතිපතා රැස්වීමේ දී මාලිවල හමුදා නිලධාරීන් අයිඑස් මගින් ඝාතනය සාකච්ඡා කළා ද?

ප්‍රනාන්දු මහතා

මට මතකයක් නෑ.

ෆොන්සේකා මහතා

බුද්ධි අංශ ජාතික බුද්ධි ප්‍රධානි යටතේ තිබිය යුතුයි කියලා හිතවද?

ප්‍රනාන්දු මහතා

යම් ප්‍රතිව්‍යුහගත කිරීම් අවශ්‍යයයි කියා හිතනවා. බුද්ධි අංශ ‍තොරතුරු බෙදාගැනීම හොඳයි.

නලින්ද ජයතිස්ස මහතා

මේ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක ඇමැති දැනුවත් කළා ද?

ප්‍රනාන්දු මහතා

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මට 21 උදේ කතා කළා.

සුමන්තිරන් මහතා

ඔබට ඊට පෙර දින තොරතුරු ලැබුණා නේද?

ප්‍රනාන්දු මහතා

බුද්ධි ප්‍රධානියා මට කිව්වා ඔහු අයිජීපීට කිව්වා කියා දැන්වූවා. මටත් කියන්න කිව්වා 20 දිනයි එම තොරතුරු ලැබුණේ.

සුමන්තිරන් මහතා

ජනපතිට දැනුම් දුන්නාද?

ප්‍රනාන්දු මහතා

නෑ මම දැනුම් දුන්නේ නෑ. ඒ දේ මම පසුව කියන්නම්.

සුමන්තිරන් මහතා

ඔබගේ පෞද්ගලික කරුණු අහන්නේ නෑ. නමුත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරක් ගැනයි මේ කතා කරන්නේ.

ප්‍රනාන්දු මහතා

ඒ වෙලාවේ හදිසි නීතිය තිබුණේ නෑ. මම අවශ්‍ය අංශ වලට දැනුම් දුන්නා.

සුමන්තිරන් මහතා

ජනපතිට දැනුම් දුන්නා.

ප්‍රනාන්දු මහතා

මම හිතුවා බුද්ධි ප්‍රධානියා දැනුම් දුන්නා කියලා. අපිට 9 දින ලැබුණු තොරතුරු අපේක්ෂිත ප්‍රහාරයක් ගැනයි.

සුමන්තිරන් මහතා

මෙතොදිස්ත පල්ලි කොහොද කියලා ඇහුවම 9 දින සිද්ධියට සම්බන්ධයි නේද 9-20 දක්වා මුකුත් කළේ නැද්ද ඔබ හිතලා ජනපති දන්නවා කියලා හිටියද? නැත්නම් ඔබ ඉදිරියේ කවුරු හෝ ජනපති දැනුවත් කළා ද?

ප්‍රනාන්දු මහතා

මම ස්වාධීන ලේකම්වරයෙක් නෙවෙයි ජනපතිගෙන් මට හැමදේම අවසර ගත යුතුව තිබුණා. මම හිතුවේ නෑ. අගමැති දැනුවත් කරන්න. අගමැති ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වට පසුව මම ගියේ නෑ.

ආශු මාරසිංහ මහතා

ආරක්ෂක කවුන්සිලයට ඇමැතිවරයා නොවන අය සහභාගී වුණාද?

හේමසිරි ප්‍රනාන්දු මහතා

නැහැ. සහභාගී වුණේ නෑ.

දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, මහින්ද අමරවීර මන්ත්‍රීතුමා වැනි අය සහභාගී වුණා. අප්‍රේල් 23 යින් පසු තිබූ රැස්වීම් සඳහා සහභාගී වුණා.

සුමන්තිරන් මහතා

ඇයි ඔබ ඉල්ලා අස් වුණේ.

හේමසිරි ප්‍රනාන්දු මහතා

පොලිස්පති මට ඇමතුමක් දුන්නා රෑ 8 මට එන්න කිව්වා. මම ගියා. මම ඒකට වගකිව යුතු නෑ. මට කරන්න පුළුවන් දේවල් කළා. ඔබ මේක භාරගන්න කියා කීවා. මම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වුණා.

රෝෂන් තුෂාර සහ අමෝදා ජයමහ 
ඡායාරූප-රංජිත් අසංක

 


නව අදහස දක්වන්න