පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවන්න ආර්ථික පැකේජයක් | දිනමිණ

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවන්න ආර්ථික පැකේජයක්

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

* වන්දි නිර්ණයට නව කාර්යාලයක් 
* ව්‍යාපාරිකයන්ට සහන දෙන චක්‍රලේඛ සියලු බැංකුවලට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ හා මිය ගිය පුද්ගලයන් සඳහා වන්දි ගෙවීමට‍ අග්‍රාමාත්‍ය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන අමාත්‍යාංශයෙන් වෙනම ආර්ථික පැකේජයක් හඳුන්වා දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කළේය.

ඒ අනුව තුවාල ලැබූ අයට දීර්ඝ කාලීන ආබාධිත වූ අයට හා මිය ගිය පවුල්වලට සහන සැලසීමට වන්දි නිර්ණය කිරීම‍‍ නව කාර්යාලයක් මගින් සිදු කරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය. මීට අමතරව පාස්කු ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකය අකර්මන්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ට සහන සැලසීම මුදල් අමාත්‍යාංශය මගින් සිදු කරන බවත් ඊට අදාළ චක්‍රලේඛ මහ බැංකු අධිපතිවරයා විසින් සියලු බැංකු වෙත යොමු කර ඇති බවත් අගමැතිවරයා පැවැසීය.

මේ කටයුතු සම්බන්ධයෙන් තමන් ද පුද්ගලිකව විෂය භාර ඇමැතිවරයාට සිහිපත් කළ බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

එම කටයුතු සිදු කරන අතරතුර යුරෝපීය රටවල් සමඟ සංචාරක ප්‍රවර්ධන කටයුතු ද ශක්තිමත්ව සිදු කරන අතර, යුරෝපීය රටවල් ගණනාවක් පසුගිය දින දෙක තුළ සිය උපදේශන ඉවත් කර ගෙන ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ‍මේ බව ප්‍රකාශ කළේය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම ගැන මම ඔබතුමාලා සමඟ පසුගිය දා සාකච්ඡා කළා. තුවාල ලැබූ අයට‍, මිය ගිය අය වෙනුවෙන් සහන දෙන්න වෙනම ආර්ථික පැකේජයක් සූදානම් කර තිබෙනවා. තුවාල ලැබූ අය හඳුනාගෙන දීර්ඝ කාලීන ප්‍රශ්න තිබෙන ගැනත් කරුණු සොයාගෙන අපි දෙන්න තිබෙන වන්දි මුදල තීරණය කරනවා. ඒ වගේම මේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් ආරම්භ කළ කාර්යාලයට වගකීම භාර‍ දෙනවා.


නව අදහස දක්වන්න