‘රට වෙනුවෙන් එකට සිටිමු’ සමාප්ති වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද | දිනමිණ

‘රට වෙනුවෙන් එකට සිටිමු’ සමාප්ති වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද

රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ සිවු වැනි අදියරේ සමාප්ති වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේ දී අද (8) පැවැත්වේ. ව්‍යාපෘති සහ වැඩසටහන් 1144කින් ජනතාවට සහන සලසමින් පසුගිය 3 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සිවුවැනි අදියර ආරම්භ කෙරුණි.

ඒ යටතේ රුපියල් මිලියන 37ක වියදමකින් තුනුක්කායි මල්ලාවි රෝහලේ ඉදි කළ වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිවරයා අතින් අද (8) ජනතා අයිතියට පත් කෙරේ. ඊට සමගාමීව වකුගඩු රෝගය හඳුනා ගැනීමේ සායන හරහා මේ මස 03 වැනිදා සිට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකා වැඩසටහනින් පුද්ගලයන් 10,000කට පමණ සහන සැලසීම ද සිදු කර තිබේ.

එමෙන්ම වකුගඩු රෝගී අවධානම සහිත ප්‍රදේශවල සිටින පවුල් සඳහා රුපියල් මිලියන 7ක පමණ වියදමකින් ප්‍රතිලාභීන් 8000කට පමණ සෙත සැලසීමට ගෘහස්ථ ජල පෙරන උපකරණ ද අද ලබාදීමට නියමිතයි.

වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වකුගඩු රෝගීන් සිටින පවුල් 300ක් සඳහා වස විසෙන් තොර සහල් සලාක ලබාදීමට ද නියමිත අතර, මත්ද්‍රව්‍ය නිවාරණ, දරුවන් සුරැකීම, ජාතික ආහාර නිෂ්පාදන, පරිසර සංරක්ෂණ, විශේෂ අවශ්‍යතා සහිත සහ වැඩිහිටි දිරි ගැන්වීම්, ස්ථායි පාසල් සංවර්ධන, ග්‍රාම ශක්ති, ස්මාට් ශ්‍රී ලංකා සහ කුඩා කෘෂිකාර්මික ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර සැලසුම් කර තිබේ.

රුපියල් මිලියන 16ක් පමණ වැය කර පවුල් 2500කට සෙත සැලසීමට ප්‍රති ආශ්‍රැතකරණ ජල පද්ධති 10ක් ද ස්ථාපනය කර ඇත. ඒ අතර වන ගහනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක රුක් ‍රෝපණ වැඩසටහන යටතේ පැළ සහ ආහාර භෝග බීජ ද බෙදාදීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ සුබසාධන වැඩසටහන් වඩා සක්‍රීය කරමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදීමත් දීර්ඝ කාලයක් පුරා පවතින මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමත් වැඩසට‍හනේ අරමුණයි.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න