‘ජිහාඩ්’ මුලිනුපුටන්න ඕනෑම සහායක් දෙනවා | දිනමිණ

‘ජිහාඩ්’ මුලිනුපුටන්න ඕනෑම සහායක් දෙනවා

මහින්ද අලුත්ගෙදර

කලාපීය ආරක්ෂාවට සහ ලෝක සාමයට තර්ජනයක් වන එදිරිවාදී ජිහාඩ් මතවාදය හුදෙකලා කරමින් එය මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා ප්‍රකාශ කරයි. ත්‍රස්තවාදය සහ අන්තවාදය මනුෂ්‍යත්වයට තර්ජනයක් බව පෙන්වා දෙන ඒ මහතා මෑතක දී ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර ශ්‍රී ලංකාවට පමණක් එල්ල වූ ප්‍රහාර නොවන බව ද ලොව කොතැනක හෝ සිදුවන ත්‍රස්තවාදය සමස්ත මනුෂ්‍යත්වයේම හෘද සාක්ෂියට එල්ල වන ප්‍රහාරයක් බව ද පෙන්වා දෙයි.

මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙහි (BIDTI) රාජ්‍යතාන්ත්‍රිකභාවය හා ලෝක සබඳතා පිළිබඳ 21 වැනි ඩිප්ලෝමා පාඨමාලාව සමාරම්භ කරමින් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඉන්දියාවේ නව අගමැතිවරයා වශයෙන් නරේන්ද්‍ර මෝදි මහතා බලයට පත්වීමෙන් පසුව මහ කොමසාරිස්වරයා විසින් සිදුකරන ලද පළමු දේශනය මෙහි දී සිදු කරන ලද අතර, ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සඳහන් කෙරිණි. එසේම ඉන්දියා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ විවිධ පැතිකඩ පිළිබඳව ඒ මහතා අදහස් දැක්වීය.

එහි දී වැඩි දුරටත් අදහස් පළ කරමින් මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මේ සති අන්තයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බවත් මෙය අගමැතිධුරයට නැවතත් තේරී පත්වීමෙන් අනතුරුව මෝදි මහතා විසින් සිදුකරන පළමු විදෙස් සංචාරයේ කොටසක් බවත්ය. අප්‍රේල් 21 වැනි දින ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වයේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලාංකේය ජනතාව සමඟ සිටින බවට වන පණිවිඩය එතුමාගේ සංචාරයෙන් ලබාදෙන බව ද ඒ මහතා සඳහන් කළේය.


නව අදහස දක්වන්න