මෝදි මහත්තයා! | දිනමිණ

මෝදි මහත්තයා!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය ඊයේ සිදුවිය. මෙය සැලැකිය හැක්කේ ඓතිහාසික සංසිද්ධියක් හැටියට ය. පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා හා නායකයා වන්නේ නරේන්ද්‍ර මෝදි මහතාය. මෝදි මහතා ලෝකයට පෙන්වා දුන් වැදගත් ආදර්ශය වන්නේ ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයකුට භීතියකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි බව ය. මේ මොහොතේ අපට අතිශයින් ම වැදගත් සාධකයක් ලෙස ඉහත ආදර්ශය පෙන්වා දිය හැකි ය. අපේ ආර්ථිකය, දේශපාලනය හා සමාජයීය සංවර්ධනය ද ලෝකය සමඟ ගැට ගැසී පවතී. මෝදි මහතාගේ පැමිණීම මේ සම්බන්ධයට ශක්තියකි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික හා සංස්කෘතික බැඳීම ඓතිහාසික එකකි. එය වසර දහස් ගණනක සිට පැවැත එන නොබිඳුණු සම්බන්ධයක් සේ සැලැකීම නිවැරැදි ය. නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ දෙරටේ සම්බන්ධය හා මිත්‍රත්වය වඩාත් ශක්තිමත් වී ඇතැයි කිව හැකි ය. මෝදි මහතා වරක් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ සමීපතම මිත්‍රයා ශ්‍රී ලංකාව බව ය. තවත් වරෙක ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හෝ එහි අනන්‍යතාවට හෝ කිසිදු බලපෑමක් ඉන්දියාවෙන් සිදුනොවන බවය. එලෙසම මෝදි මහතා තවදුරටත් අවධාරණය කර ඇත්තේ ඉන්දියාවේ වෙළෙඳ පොළ බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ කිසිදු අදහසක් තම රජයට නැති බව ය.

ලෝක ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව මේ වනවිටත් ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය බවට ආසියාව පත්වී තිබේ. එයිනුදු දකුණු ආසියාව සුවිශේෂී බව විශේෂඥයන්ගේ මතය වේ. දකුණු ආසියාවේ නායකත්වය නිසැක ලෙස ම හිමිවන්නේ ඉන්දියාවට ය. ඉන්දියාව ජනගහනය අතින් ලෝකයේ දෙවන තැන හිමිකරගත් රාජ්‍යය වන්නා සේ ම ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ද වන්නේ ය. එපමණක් නොව දකුණු ආසියාවේ දැවැන්ත ම ආර්ථිකය හිමි රාජ්‍යය බවට පත්වී ඇත්තේ ද ඉන්දියාව ය. තවත් දසක දෙකක් යෑමට පෙර චීනය හා ජපානය තරමටම ඉන්දියාව ද ආර්ථික අතින් ශක්තිමත් වන බවට පුරෝකථන ඉදිරිපත් වී ඇත.

වත්මන් ඉන්දීය නායකයා ස්වදේශිකත්වයට නැඹුරු වෙමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ද ගෙන යන බුද්ධිමත් නායකයකු ලෙස හැඳින්විය හැකිය. අමෙරිකාව ඉන්දියාවට ලබාදුන් ජී.එස්.පී. සහනය කපාහැරිය ද නරේන්ද්‍ර මෝදි මහතා අමෙරිකාව ඉදිරියේ දණින් වැටීමට ගියේ නැත. මෝදි මහතා කියා සිටියේ ජී.එස්.පී. කපාහැරීමේ බලපෑම ඉතා සුළු එකක් බව ය. මීට වඩා බරපතළ අභියෝගවලට ඉන්දියාව මුහුණ දී ඇති බවද, ඉන්දියාවට ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ හැකියාව ඇති බවද මෝදි මහතා තහවුරු කර ඇත. එපමණක් නො ව; ඉන්දියාවේ සමස්ත ජනතාව මෝදි මහතාගේ මතයට ගරුකරන බව ද ඒ මතය සමඟ සිටින බව ද හැමවිටම පෙනී යයි.

මෝදි මහතාගේ දේශපාලන ජීවිතය දෙස ආපසු හැරී බලනවිට ආදර්ශ ගණනාවක් ගත හැකි ය. ගුජරාටි ප්‍රාන්තයේ නායකයා හැටියට ක්‍රියා කළ මෝදි මහතා එකී ප්‍රාන්තයේ දිළිඳුකම පිටුදැකීම සඳහා ද අධ්‍යාපනය නැංවීම සඳහා ද අමතක නොවන වැඩකොටසක් ඉටුකර තිබේ. ඔහු හැඳින්වෙන්නේ ජනතා නායකයකු හැටියට ය. තමන්ගේ ජනතාව වෙනුවෙන් හෘදයාංගම සේවාවක් ඉටුකිරීම මෝදි මහතාගේ ප්‍රතිපත්තිය වී තිබේ. අගමැතිවරයා එම ප්‍රතිපත්තිය කිසිවිටෙකත් වෙනස් කර නැත. එබැවින් ඔහුට බලවත් දේශපාලන ප්‍රතිරූපයක් තිබේ. මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් මෝදි මහතාට හිමිවන්නේ ද ඔහු සතු සුවිශේෂී දේශපාලන පෞරුෂය නිසා යැයි කියන්නට පුළුවන. එබඳු රාජ්‍ය තාන්ත්‍රිකයකු ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම අපට සුවිශේෂී විය යුතු ය.

නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළ තෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එකතු වෙයි. එම සංචාරය සිහිපත් වීම සඳහා ජනාධිපති මන්දිරය අසල උද්‍යානයෙහි අශෝක පැළයක් රෝපණය කිරීමද සිදුවිය. අශෝක වෘක්ෂය සංකේතයක් ලෙස ගත හැකි ය. ඉන් කියැවෙන්නේ දෙරටේ සබඳතා සුවඳ විහිදුවමින් චිරාත් කාලයක් පවතින බව ය. විවිධ දේශපාලන මතවාද දරන අය නොයෙක් අවස්ථාවල දී ඉන්දියාව හා එහි ප්‍රතිපත්ති විවේචනය කරනු ලැබුවද දකුණු ආසියාවේ නායකයාගේ සහයෝගයකින් තොරව අපට යා හැකි ආර්ථික හා දේශපාලනික ගමනක් නැත. ඉන්දීය සබඳතා පළුදු කරගත් සෑම අවස්ථාවක්ම ඉතිහාසයේ සටහන් වී ඇත්තේ ශ්‍රී ලංකාව පසුබෑමට ලක් වූ අවස්ථාවන් හැටියට ය. ශ්‍රී ලංකාවේ වත්මන් නායකයන් මේ තත්ත්වය හොඳින් වටහාගෙන තිබීම වාසනාවකි.

මෑතකාලීන ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට විශාල සහයෝගයක් ලබාදෙයි. මූල්‍ය ආධාර, ආයෝජන, ණය ආදී වශයෙන් ද උපදේශන වශයෙන් ද මේ සහයෝගය ලබාදෙයි. ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනයට ඉන්දියාව සැලැකිය යුතු සහයෝගයක් ලබාදී ඇත. වතු අංශයේ අධ්‍යාපනය නැංවීම සඳහා රුපියල් මිලියන තුන්සියයක ආධාරයක් ලබාදීමටද ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ. අපේ වතු අංශයේ පාසල් ගොඩනැඟිලි ඇතුළු වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා එම මුදල් යෙදවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී. මේ මගින් වතු අංශයේ ලක්ෂ දෙකක පමණ ශිෂ්‍ය ප්‍රජාවට සහන සැලැසෙන බව ප්‍රකාශ වී ඇත. ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හැම අතෙකින්ම සුබදායක ය. අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආරක්ෂකයකු හැටියට ද සැලැකිය හැකි ය.

මෝදි මහතා පිළිගැනීම ඉතා උසස් අන්දමින් සිදුවිය. නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙවන ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවේ අපට ආශිර්වාදයක් යැයි කියන්නට පුළුවන.

නව අදහස දක්වන්න