ලින්ක් නැචුරල් වෙතින් ‘අසිරි සුරකිමු සමනොළ’ | දිනමිණ

ලින්ක් නැචුරල් වෙතින් ‘අසිරි සුරකිමු සමනොළ’

පූජනීය ශ්‍රී පාද අඩවිය සහ ඒ අවට පරිසරය සුරකීමේ පුරෝගාමී මෙහෙවරක් වශයෙන් ‘අසිරි\ සුරකිමු සමනොළ’ නමින් ඉතාම පුළුල් මට්ටමේ පරිසර සංරක්ෂණ වැඩසටහනක් දියත් කිරීමට, සමහන් සන්නාමය හිමි ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. සමහන් සන්නාම දැක්ම වන ‘කලින්ම ආරක්ෂාව’ යන්න මූල්කරගෙන මෙම වැඩසටහන ද ක්‍රියාවට නංවා ඇත.

රජයේ ආයතන, ප්‍රාදේශීය හා පළාත් පාලන ආයතන සහ පෞද්ගලික සමාගම් ඇතුළුව සක්‍රීය හවුල්කරුවන් 15 දෙනෙකු සමඟ සම්බන්ධ වී ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහන මඟින් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, එම වැඩසටහන් සඳහා වන්දනාකරුවන්ද සම්බන්ධ කරගැනීම සහ පරිසරය දූෂණය කරන ක්‍රියාවලින් වැළකීම සඳහා වන්දනාකරුවන් පූර්ණ වශයෙන් දැනුවත් කිරීම ඇතුළු විවිධාකාරයේ පියවර ගනු ලැබිණි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරීමට පෙර

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම වසර 6 ක් තිස්සේ වන්දනාකරුවන්ට නැවුම්ව සකසන ලද “සමහන්” පානය ලබාදීම සහ ලින්ක් නැචුරල් SP බාම් භාවිතයෙන් බැතිමතුන්ගේ පාද සම්බාහනය කිරීම යනාදිය මූලික කරගෙන ‘සමහන් සහන කලාපය’ නමින් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි.

අලුතින් ක්‍රියාත්මක කර ඇති ‘අසිරි සුරකිමු සමනොළ’ වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතරින් 15 වන ඉලක්කය වන ‘මිහිමත ජීවය‘ යන්න යටතේ සඳහන් ඉලක්ක වලටද සමගාමී වේ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ ආයතනික සම්බන්දතා කළමනාකරු ප්‍රියන්ත කොලොන්නෙගේ මහතා මෙසේ පැවසී ය. “සමනොළ කන්ද යනු හුදෙක් ආගමික හා ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථානයක් පමණක් නොවෙයි. එය පාරිසරික වශයෙන් ගත් කල අතිශය වටිනා සත්ත්ව හා ශාක වර්ග වලින් පිරුණු ප්‍රදේශයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගංඟා දෙකක් වන කැළණි ගඟ සහ කළු ගඟ ආරම්භ වන්නේත් සමනොළ අඩවියෙනුයි. ශ්‍රී ලංකාවට වාර්ෂිකව පොලිතීන් සහ ප්ලාස්ටික් මෙටි්‍රක් ටොන් 500,000 ක් පමණ ආනයනය කරනු ලබන, නමුත් ඒවායින් නිමි භාණ්ඩ සකසා ප්‍රතිඅපනයනය වන්නේ මෙට්‍රික් ටොන් 150,000 ක් පමණයි. එනම් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක්, එසේම මෙටි්‍රක් ටොන් 175,000 කට ආසන්න ප්‍රමාණයක් රට තුළ ප්‍රතිචක්‍රීකරණය කෙරෙනවා.

එහෙත් අවසනාවකට තවත් මෙට්‍රික් ටොන් 175,000 ක් පමණ පරිසරයට එක්වී ගොඩබිමත්, ජලයත් දූෂණයට ලක්කරන බව පාරිසරික වාර්තා වල සඳහන්. නිල වාර්තා වලට අනුව වාර්ෂිකව සමනොළ අඩවියේත් ප්ලාස්ටික්, පොලිතින් සහ ඝන අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 800 ක් පමණ ගොඩගැසෙනවා. මේ අතරින් මෙතෙක් ප්‍රතිචක්‍රීකරණයට ලක්ව ඇත්තේ මෙටි්‍රක් ටොන් 3 කට ආසන්න ප්‍රමාණයකි. ඉතිරි අපද්‍රව්‍ය සියල්ල එම ප්‍රදේශයේ තැන තැන ඉතිරි වී එහි පරිසරය දූෂණයට ලක්කරනවා. පසුගිය වසර 6 පුරාවට මෙම අර්බුදයේ බරපතළකම “සමහන්” ප්‍රජා සත්කාරක කණ්ඩායම හොඳින් අත්දුටුවා. වගකීම් සහගත සමාගමක් ලෙස ඊට විසඳුමක් සෙවීමට අප පෙළඹුණේ ඒ නිසයි.”

“මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට කලින් අප නල්ලතන්නිය පොලීසිය සමඟ එක්වී නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී පෙනී ගියේ මස්කෙළිය ජලාශයට සමනොළ කන්දෙන් ජලය ගලා එන ඉහළ ප්‍රදේශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තට්ටුවක් ලෙස ගොඩගැසී ඇති බවයි. එමෙන්ම ශ්‍රී පාද පරිශ්‍රයේ වනාන්තරය ඇතුළට වන්නට අවිධිමත් ලෙස ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන කිහිපයක්ම දැකගනීමටත් හැකිවුණා. 2016 වසරේ දී ඉදිකටුපාන ප්‍රදේශයේ අපද්‍රව්‍ය ගොඩගැසුනු කන්දක නායයාමකුත් සිදුවී තිබෙනවා.” ප්‍රියන්ත කොලොන්නෙගේ මහතා වැඩිදුරටත් පැවසී ය.

නව අදහස දක්වන්න