වැරැදුණු කප්පම! | දිනමිණ

වැරැදුණු කප්පම!

ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරයට අයත් ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර හිමියන්ගෙන් රුපියල් කෝටි දහයක කප්පමක් ගන්නට ගිය සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත් ව තිබේ. පළමුව පොලිසියට කෘතඥතාව පළවිය යුතු අතර දෙවනුව දේවාලය භාරකාර හිමියන්ට ද කෘතඥතාව පළවිය යුතුය. උන්වහන්සේ බුද්ධිමත් ලෙස ක්‍රියා නොකළේ නම්; බලවත් විනාශයක් සිදුවන්නට ඉඩ තිබූ අතර තවත් මෙබඳු ම කප්පම් ගැනීම් එක පෙළට සිදුවන්නට ඉඩ තිබිණි. මෙහි භයානක ම සාධකය වන්නේ සැකකරුවන් තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් ලෙස රංගනයක යෙදීම ය.

රටට සිදුවන බරපතළ ඛේදවාචකයකින් වුව තමන්ගේ මඩිය තර කර ගැනීමට උත්සුක වන නීච පුද්ගලයන්ගෙන් මේ සමාජය සමන්විත බව ඉහත සිද්ධියෙන් පෙනී යයි. පාස්කු ප්‍රහාරයෙන් පසු තව්හිද් - ජමාද් සංවිධානය ගැන පොදු භීතියක් රට තුළ ව්‍යාප්ත විය. සැකකරුවන් එයින් ප්‍රයෝජන ගෙන කප්පම ලබාගන්නට වෑයම් කර ඇති බව පැහැදිලි ය. කප්පම ඉල්ලා ඇත්තේ දුරකථනය ඔස්සේ ය. ඊට අදාළ සංවාද පොලිසියේ නියමය පරිදි පටිගත කර ඇත. එම සංවාදවලින් පෙනී යන්නේ සැකකරුවන් ඉස්ලාම් අන්තවාදීන් ලෙස ද මුස්ලිම් ජාතිකයන් ලෙස ද ශූර නිරූපණයක යෙදෙන බව ය. ඔවුන්ගේ කතා විලාසය මුස්ලිම් ජාතිකයකුගේ සිංහල උච්චාරණයට අතිශයින් ම සමාන ය.

තව්හිද් ජමාද් සංවිධානයේ නම විකුණමින් තවත් මෙබඳු කප්පම් ගැනීම් හා අපරාධ සිදු කිරීම් කොපමණ ප්‍රමාණයක් සිදු වී තිබේ ද යන්න අප දන්නේ නැත. ඇතැම් විට එබඳු අපරාධ ගණනාවක් සිදු වී තිබෙන්නට පුළුවන. විෂ්ණු දේවාලයේ භාරකාර හිමියන් කප්පම ලබා දුන්නේ නම්; මේ කප්පම් කල්ලිය මින් පසුවත් කප්පම් ව්‍යාපාරයේ යෙදෙන්නට ඉඩ තිබිණි. සැකකරුවන්ගේ මුල් ඉල්ලීම වන්නේ රුපියල් කෝටි දහයකි. භාරකාර හිමියන් එබඳු මුදලක් නැති බව ප්‍රකාශ කළ විට කප්පම රුපියල් කෝටි පහ දක්වා පහළ බස්වා ඇත. එය ලබා නො දුන‍්නොත් ඝාතනය කරන බවට හිමියන් වෙත අනතුරු හැඟවීම් සිදුකර ඇත. එහෙත් භාරකාර හිමියන් කප්පම ලබා දී නැත. එය නිර්භීත ක්‍රියාවකි.

පසුව කරන ලද පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත්තේ භාරකාර හිමියන් ඝාතනය කර හෝ මුදල් ලබාගැනීමේ ප්‍රයත්නයක් සැකකරුවන් තුළ තිබූ බව ය. ඝාතන කුමන්ත්‍රණය සඳහා බෝම්බ පරීක්ෂණ හා අත්හදා බැලීම් දෙකක් සිදුකර ඇති බව ද සැකකරුවන් ප්‍රකාශ කර ඇති බව කියැවේ. එබඳු අපරාධයක් සිදුවූයේ නම්; එහි වගකීම තව්හිද් ජමාද් ගිණුමට බැරවීමටත් ඉඩ තිබිණි. එවැනි සිද්ධියක ප්‍රතිඵලය යළිත් ආගම්වාදී හා ජාතිවාදී කලබලයක් ඇතිවීම විය හැකි ය. මුදලට ගිජු වූ මේ මෝඩ සැකකරුවන්ට පොදු විනාශයක් ගැන කිසිඳු හැඟීමක් නැති බව පැහැදිලි ය. මොවුන් නීතියේ දඬුවමට යටත් කොට පසුව සමාජගත කළ යුත්තේ පුනරුත්ථාපනයකින් පසුව යැයි පෙන්වා දිය යුතු ය.

සැකකරුවන්ගේ ප්‍රධානියා ව්‍යාපාරිකයකු බව කියැවේ. අනෙක් දෙදෙනා රියැදුරෝ ය. දඹුල්ලේ රන්ගිරි විහාරයට ආසන්න පන්සල් දෙකක ඔවුන් සේවය කර ඇත. පන්සල්වල රියැදුරන් ලෙස සේවය කිරීම නිසා ම ශ්‍රී විෂ්ණු දේවාලය පිළිබඳ තොරතුරු සපයා ගැනීම පහසු වෙයි. තව අතකට එබඳු රියැදුරන් ගැන සැකයක් ඇතිකර ගැනීමට ද හේතුවක් නැත. එහෙත් සිදු වී ඇත්තේ වෙනත් දෙයකි. කුමන අවස්ථාවකදී වුව තමන්ගේ සමීපතමයන් ගැන පවා විමැසීමකින් යුතුව සිහිනුවණින් කටයුතු කළ යුතු බව මේ සිද්ධිය අපට පෙන්වා දෙයි. අනෙක් අතට ව්‍යාපාරිකයන් ගැන වුව ඕනෑවට වඩා විශ්වාසයක් තැබීම යහපත් නො වන බව ද මේ සිද්ධිය අපට පැහැදිලි කරයි. පවත්නා තත්ත්වය යටතේ කිසිවකු විශ්වාස කළ නො හැකි පසුබිමක් ගොඩනැඟී ඇත.

මේ සිද්ධිය අපට කියා දෙන වැදගත් ම පාඩම වන්නේ ‍සමාජයේ කොටසක් අතිශය දූෂිත ලෙස ද භයානක ලෙස ද සල්ලි හම්බ කිරීමට යොමු වී ඇති බව ය. රටේ පිළිගත් දේශපාලකයාගේ සිට සාමාන්‍ය රියැදුරා දක්වා එම දූෂිත ක්‍රියාවලිය ව්‍යාප්ත වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල සමයේ ඊට මුවා වී මිනිස් ඝාතන සිදුකළ පිරිස් සිටියහ. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පැවති සමයේ කොටි සංවිධානයේ නම අලෙවිකොට කප්පම් ලබාගත් අය සිටියහ. සුනාමි ව්‍යසනය සිදු වූ සමයේ සුනාමිය පෙරට දමා ජාවාරම් සිදුකළ කණ්ඩායම් ද සිටියහ. අද වන විට තව්හිද් - ජමාද් සංවිධානය අලෙවි කරන්නටත් ඇතැමුන් සූදානම් බව ඉහත සිද්ධියෙන් පෙනී යයි.

මේ සැකකරුවන් කෙතරම් සූක්ෂ්ම ලෙස ක්‍රියා කර තිබේ ද යන්නත් අවධානයට ගත යුතු කාරණයෙකි. දේවාල භාරකාර හිමියන්ට දුරකථන ඇමැතුම් ලබාගැනීම සඳහා භාවිත කර ඇති ජංගම දුරකථනයකට යොදාගෙන ඇත්තේ මුස්ලිම් ජාතිකයකුගේ නමට ලබාගත් සිම්පතකි. එම සිම්පත ලබාගැනීම සඳහා තවත් කිහිපදෙනකු සහයෝගය ලබා දී ඇති බව ද කියති. එයින් පෙනී යන්නේ සිද්ධිය පසුපස තවත් අය සිටින බව ය. ඒ අය ද අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතු ය. සැකකරුවන් පොලිස් පරීක්ෂණ ගැන පවා අවධානය යොමුකර ඇති බව පෙනී යන්නේ මුස්ලිම් ජාතිකයකුගේ සිම්පතක් මේ සඳහා භාවිත කිරීමෙන් ය.

තව්හිද් - ජමාද් සංවිධානය මේ රටේ කිසිවකුගෙන් කප්පම් ගත් බවට ප්‍රසිද්ධ සඳහනක් නැත. එම සංවිධානයට විදේශීය ආගමික අන්තවාදී සංවිධාන වෙතින් ඇති තරම් මුදල් ලැබෙන බව පමණක් හෙළිදරව් වී ඇත. ‍එබඳු තත්ත්වයක් යටතේ ඉහත කප්පම් සිද්ධිය සාර්ථක වූයේ නම්; පොලිස් පරීක්ෂණ තවත් දිසාවකට යොමු කරන්නට සිදුවනු ඇත. කෙසේ වුව ඉහත කප්පම් සිද්ධිය සාර්ථක වූයේ නම්; තවත් අවුලක් හා විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි. ගරුතර හිමියන්ගේ බුද්ධිමත්භාවය නිසා ද, පොලිසියේ කාර්යක්ෂමතාව නිසා ද ඉහත අවුල හා විනාශය නැවතිණි. එය වාසනාවකි. එහෙත් මතුවට මෙවැන්නක් නොසිදුවීමට නම්; වැරැදිකරුවන්ට උපරිම දඬුවම් නියම කළ යුතු ය.

 


නව අදහස දක්වන්න