රත්නපුර ‘විදුලිය’ Airtel Fastestහි දිදුලයි | දිනමිණ

රත්නපුර ‘විදුලිය’ Airtel Fastestහි දිදුලයි

එයාර්ටෙල් ආයතනය මගින් දිවයිනේ වේගවත්ම සහ අද්විතීයම නවක වේග පන්දු යවන්නන් සොයා ආරම්භ කළ ‘Airtel Fastest 2019’ වැඩසටහනේ ජයග්‍රාහකයා බවට එෂාන් මාලිංග පත්වූයේය. රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ඔහු මේ තරගයේදී පැයට කිලෝමීටර් 133ක වේගයකින් පන්දු යවමින් එම ජයග්‍රහණය තමන් සතු කරගෙන තිබුණි.

‘මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ සැහැල්ලු පන්දු ක්‍රිකට් වලින්. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මගේ තිබුණු උනන්දුව නිසා දිස්ත්‍රික් සංගමය හරහා මට ක්‍රීඩා සමාජයක ස්ථානයක් ලැබුණා. එතැනදි තමයි මම මුල් වරට ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කළේ’ යැයි සිය මතකය අවදි කරමින් එෂාන් පවසයි.

එෂාන් මාලිංගගේ ‘Airtel Fastest 2019’හි මූලික වටයේ පන්දු යැවීමේ වේගය සටහන් වූයේ පැයට කිලොමීටර් 127ක් ලෙසිනි. එහෙත් ප්‍රවීණ වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක විසින් පැවැත්වූ වේග පන්දු යැවීම පිළිබඳ තාක්ෂණික සැසිවාර කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව එෂාන්ගේ පන්දු යැවීමේ තාක්ෂණයේ සේම වේගයේද යම් සුවිශේෂී වෙනසක් දක්නට ලැබිණි.

‘අනූෂ සර් මගේ පන්දු යැවීමේ තාක්ෂණික අඩුපාඩු පෙන්වා දුන්නා විතරක් නෙමෙයි පන්දුවේ වේගය වැඩි කරන්නේ කොහොමද කියලත් කියලා දුන්නා. ඔහු කියපු ආකාරයටම මම ඒ පුහුණුවීම් වල නිරත වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට පැයට කිලෝමීටර් 133ක් දක්වා පන්දුවේ වේගය වැඩිකරගෙන දෙවැනි වටයට යන්න මට අවස්ථාව උදා වුණා’

එම ගුරුහරුකම් මධ්‍යයේ සිය දක්ෂතා වැඩිදියුණු කර ගත් එෂාන් ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ පන්දු යවන්නෙක් වන චමින්ද වාස්ගේ මග පෙන්වීම යටතේ ‘Airtel Fastest 2019’ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබන්නේ ඒ අයුරෙනි.

දෙවැනි වටයේදී විශිෂ්ට පන්දු යවන්නකු වූ චමින්ද වාස්ගේ මඟ පෙන්වීම ඒෂාන්ට ලැබිණි. ‘චමින්ද වාස්ගෙන් ලද පුහුණුවීම් මගේ දක්ෂතා තවදුරත් වර්ධනය කර ගන්න මට මහත් රුකුලක් වුණා. ඔහු සමග කළ සෑම පුහුණු සැසියක් පිළිබඳවම විඩියෝ දර්ශන මගින් නැවත නැවතත් විස්ලේශනය කරා. ඒක අපේ වැරදි නිවැරදි කර ගැනීමට සහ අපේ දක්ෂතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට අතිශයින්ම උපකාරී වුණා.’ වාස්ගේ පුහුණුව පිළිබඳ ඒෂාන් කියා සිටියේය.

රත්නපුර සිට කොළඹට පැමිණීමේදී ජීවිතයේ තවත් අභියෝග රාශියකට මුහුණ පෑමට සිදු වූ බව කියන එෂාන්, ‘මේක පහසුවෙන් ආ ගමනක් නොවෙයි. මගේ ජීවිතයේ බොහෝ බාධාවන් මට තියෙනවා. විශේෂයෙන් ආර්ථිකමය බාධාවන්. ඒත් මගේ දෙමව්පියන් ඒ දුෂ්කරතාවයන් සියල්ල විදදරාගෙන මේ තරගය සඳහා එන්න අවශ්‍ය දේවල් මට ලබා දුන්නා. ඔවුන්ගේ සහයෝගය මේ තරගය තුළ ඉදිරියටම එන්න බෙහෙවින් ඉවහල් වුණා.’ යි කීය.

ලංකාව පුරා විසිරී සිටින සෑම ක්‍රීඩකයෙකුගේම බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමයි. එෂාන්ටද ඇත්තේ එවැනිම සිහිනයකි.

‘මගේ අනාගත සැලසුම වී තිබෙන්නේ මගේ රට නියෝජනය කරන්න. ‘Airtel Fastest 2019’ ඒ සඳහා මට හොඳ වේදිකාවක් තනා දුන්නා. හොඳම පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන්ගෙන් මම එහිදී ඉගෙන ගත්තා.’ යැයි පැවසුවේය.

මේ ජයග්‍රහණය ලබා ගැනීමේදී පවුලේ උදවිය, මිතුරන් සහ ඔහුට සුබ පැතූ සියලු දෙනා වෙනුවෙන් එෂාන් සිය කෘතඥතාව පළකර සිටියි. සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසුව දේශීය ක්‍රිකට් දිවියට පය තැබීම ඔහුගේ එකම අරමුණයි. එය ජාතික කණ්ඩායම කරා පැමිණෙන ගමනේ පළමු පියවර වශයෙන් සටහන් වනු ඇත.

නව අදහස දක්වන්න