අවෛරයේ හෝරාව! | දිනමිණ

අවෛරයේ හෝරාව!

දකුණෙන් අලුත් වැඩසටහනක් ආරම්භ වී ඇත. එමගින් පා-ගමන් යමින් ජනතාව දැනුම්වත් කරමින් ජාතික සමගිය හා ආගමික සංහිඳියාව ස්ථාපිත කිරීමට උත්සුක වෙයි. මෙය ජනතාවගේ ඒකරාශී වීමෙන් කල-එළියට පැමිණි වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි ය. එහි තේමා පාඨය වී ඇත්තේ “අවෛරයේ හෝරාව” යන්න ය. වෛරයෙන් - වෛරය නොසන්සිඳෙන බව බුදුන්ගේ දේශනාවෙහි සඳහන් ය. ලොව පවතින කිසිදු ආගමක් වෛර කිරීමට උගන්වන්නේ නැත. මිනිස් ඝාතනයට හා මිනිසා පීඩනයට ලක් කිරීමට අවකාශ සලසන්නේ නැත. විශේෂයෙන් බුදු දහමෙහි ඉගැන්වීම් කරුණාව හා මෛත්‍රිය මත පදනම් වී ඇත. වෛරය වෙනුවට මෛත්‍රිය පැතිරවිය හැකිනම්; අපට ඉතා පැහැදිලි අනාගතයක් හිමිවනු ඇත.

ඉහත වැඩසටහන සඳහා සහභාගී වී සිටි සෙනඟ කන්දරාව දකිනවිට ද, ඔවුන්ගේ උද්‍යෝගය දකින විට ද පෙනීයන්නේ ජාතිවාදයට, ආගම්වාදයට හා අවස්ථාවාදයට එරෙහි විශාල රැල්ලක් රට තුළ ඇති කළ හැකි බව ය. ඉහත සඳහන් වාද තුනම එකිනෙකට සම්බන්ධ බව නිදහසින් පසු ශ්‍රී ලංකාව දෙස ආපසු හැරී බලනවිට පෙනීයයි. නිදහසින් පසු වසර හැත්තෑ එකක් ගෙවී ඇත. එහෙත් තවම අප දියුණු වෙමින් පවතින දුප්පත් රාජ්‍යයෙකි. නිදහසට පෙර අපට පසුපසින් සිටි ආසියානු රාජ්‍යයන් බොහොමයක් ඉදිරියට පැමිණ ඇත. සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් එක තැන පල්වීමේ රහස දැන්වත් හඳුනාගත යුතුය.

ශ්‍රී ලංකාවේ අපට ජාතික ප්‍රතිපත්ති නැත. ජාතික වැඩසටහන් නැත. ඒ වෙනුවට අපට ඇත්තේ බලයට පත්වන දේශපාලන පක්ෂය මතුකරන වැඩසටහන් ය. රට පාලනය කළ දේශපාලකයන් වසර හැත්තෑ එකක් තිස්සේ සිදුකර ඇත්තේ රට ස්වයංපෝෂිත කිරීම නොව; තමන්ගේ පක්ෂය පෝෂණය කිරීම බව පෙනීයයි. ඇතැම් වැඩසටහන් යෝජනා වී ඇත්තේ ද, ඒවා ක්‍රියාත්මක වී ඇත්තේ ද පක්ෂවල ඡන්ද ප්‍රමාණය වැඩිකරන අභිලාසය ඇතිවය. රට පාලනය කළ සියලු දෙනා මීට වගකිවයුත්තෝ වෙති. මෙය තනිකර අවස්ථාවාදයක් ලෙස සැලැකීම නිවැරැදිය. මෙහි තවත් භයානක පැත්තක් වන්නේ ජාතිය හා ආගම ද මීට පටලවා ගැනීම ය. රට තුළ ආගම්වාදය ව්‍යාප්ත වූයේ ද, ජාතිවාදය ව්‍යාප්ත වූයේ ද දේශපාලනය නිසා ය. හරියටම කිවහොත් අවස්ථාව‍ාදී දේශපාලනය නිසා ය.

මැලේසියාවේ ප්‍රධාන ජනවර්ග හතරක් ජීවත් වෙති. ආගම් හයක් පවතී. වියට්නාමයේ ප්‍රධාන ජනවර්ග තුනක් ජීවත් වෙති. ආගම් හතරක් පවතී. සිංගප්පූරුවේ ප්‍රධාන ජනවර්ග තුනක් ජීවත් වෙති. ආගම් හතරක් පවතී. එහෙත් එම රටවල ජාතිවාදය අවුළුවන දේශපාලකයන් නැත. ආගම්වාදය අවුළුවන දේශපාලකයන් නැත. එම රටවල පාලකයෝ ජාතික ප්‍රතිපත්ති අනුව රට මෙහෙයවති. සිංගප්පූරුව ගොඩනැඟූ ලී ක්වාන් යූ මහතා සංවර්ධනය සඳහා ආදර්ශ ලබාගත්තේ ශ්‍රී ලංකාවෙන් ය. එහෙත් එදා ශ්‍රී ලංකාව අද ශ්‍රී ලංකාව නොවේ. දෛවයේ සරදමකට මෙන් අද අපට සිදුවී ඇත්තේ සිංගප්පූරුවෙන් ආදර්ශ ලබාගැනීමට ය. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව හා මැලේසියාව ආර්ථික වශයෙන් ලබා ඇති දියුණුවට සමීපවීමට අපට තව කාලයක් ගත වනු ඇත. එය ද සිදුවන්නේ දේශපාලන කඹඇදීම නතර වුවහොත් පමණි.

සංවර්ධිත කිසිදු රාජ්‍යයක් ආගම හා ජාතිය රාජ්‍ය පාලනය සමඟ සම්බන්ධ කරගන්නේ නැත. ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ ආගම, ජාතිය පමණක් නොව; කුලය පවා දේශපාලනයට සමීප කරගනිති. රටේ ඇතිවූ සෑම ජාතිවාදී කෝලාහලයක් පසුපස ද, සෑම ආගම්වාදී කෝලාහලයක් පසුපස ද දේශපාලකයෝ සිටියහ. 1983 කළු ජූලිය මතුවන්නේ දේශපාලකයන්ගේ බලපෑම මත ය. පසුව එය රටට මහත් විපත්තියක් ඇති කළේය. ඉන්දියාව පවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට බලපෑම් කරන්නට පටන් ගත්තේ කළු ජූලියෙන් පසුව ය. දේශපාලකයන් අවස්ථාවාදී ලෙස ක්‍රියා කරන අතර ඒවායින් මතුවන භයානක ප්‍රතිඵල ගැන අබමල් රේණුවක හැඟීමක් ඇති කරගන්නේ නැත. අපට ඇත්තේ ඒ මොහොතේ වාසිය ගැන කල්පනා කරන දේශපාලකයන් බව මොනවට පැහැදිලි ය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ද ජාතිවාදය හා ආගම්වාදය ඇවිළවීමේ බලවත් උත්සාහයක් පැවැති බව රහසක් නොවේ. ස්ථාන කිහිපයක දී එම ප්‍රයත්නය සාර්ථක වූ බව ද දැකගන්නට ලැබිණි. වයඹ හා මිනුවන්ගොඩ සිදුවීම් ඊට සාක්ෂි ලෙස දැක්විය හැකි ය. මේවා පසුපස දේශපාලකයන් සිටි බව ද රහසක් නොවේ. ජාතික විපත්තියකදී පවා දේශපාලන වාසි ලබාගැනීමට ක්‍රියා කරන පුද්ගලයන් රට හා ජාතිය ගැන පොදු හැඟීමකින් කටයුතු කරනු ඇතැ’යි කිසිසේත් විශ්වාස කළ නොහැකි ය. තත්ත්වය එසේ වුව ජනතාව මේ සම්බන්ධයෙන් පුළුල් වැටහීමකින් ක්‍රියා කරන්නේ නම්; සියල්ල වෙනස් කළ හැකි බව අපගේ පිළිගැනීම ය. එබඳු ආස්ථානයකට හොඳ පසුබිමක් “අවෛරයේ හෝරාව” වැඩසටහන ඔස්සේ ගොඩනැඟෙනු ඇත.

මාතර නගරයෙන් සමාරම්භ වූ මේ වැඩසටහනට හදිසියේ ම මෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැමිණියේ ය. සංවිධායකයෝ මල් මාලාවක් පලඳවා ඇමැතිවරයා පිළිගත්හ. මෙහි දී අමාත්‍යවරයා කියාසිටියේ ජාතිවාදයට, ආගම්වාදයට හා අවස්ථාවාදයට එරෙහිව උක්ත ව්‍යාපාරය නගරයෙන් - නගරයට යා යුතු බව ය. මාතර පමණක් නොව සමස්ත දකුණු ප්‍රදේශයෙන් ම පුද්ගලයෝ වැඩසටහනට එක් වී සිටියහ. ජනගහනයෙන් 90%ක් පමණම සිංහල බෞද්ධයන් සිටින ප්‍රදේශයකින් මෙබඳු ව්‍යාපාරයක් ඇතිවීම ඔස්සේ පෙනීයන වැදගත් කාරණය වන්නේ සමස්ත ශ්‍රී ලංකාව තුළම මේ පණිවිඩය ස්ථාපිත කළ හැකි බව ය. ශ්‍රී ලංකාව වනසන වාද තුනක් තිබේ. ඒ ජාතිවාදය, ආගම්වාදය හා අවස්ථාවාදයයි. “අවෛරයේ හෝරාව” ඉදිරියට ඇදී යන්නේ නම්; ඉහත වාද තුන ම පරාජය කළ හැකි ය.

 


නව අදහස දක්වන්න