තේරීම් කාරක සභාවෙන් ජාතික ආරක්ෂාවට - රටට සිදුව තිබෙන අනතුර කුමක් ද | දිනමිණ

තේරීම් කාරක සභාවෙන් ජාතික ආරක්ෂාවට - රටට සිදුව තිබෙන අනතුර කුමක් ද

චමීර ඇල්ලදෙණිය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පත් කළ තේරීම් කාරක සභාවෙන් ජාතික ආරක්ෂාවට හෝ රටට සිදුව තිබෙන අනතුර කුමක් දැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය‍.

21 වැනි දා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ තේරීම් කාරක සභාවෙන් රටට වු අනතුර මොකක්ද? ඒ ගැන කතා කරන කණ්ඩායමට අපි කියනවා පුළුවන් නම් සිදු වු අනතුර පිළිබඳව කරුණු සහිතව ඔප්පු කරන්න කියලා. මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරන්න පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ කැමති වුණා. මහින්ද රාජපක්‍ෂලාත් කැමති වුණා. නමුත් මේ තේරීම් කාරක සභාවට මහින්ද රාජපක්‍ෂලා නොගියේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොවෙයි රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා පිළිබඳව එහි දී සාකච්ඡා කරයි කියලා. නමුත් දැන් මහින්ද රාජපක්‍ෂලාගේ කණ්ඩායම නැතිව තේරීම් කාරක සභාවේ වැඩ ටිකක් කෙරීගෙන යනවා. ඒක ඔවුන්ට අවාසි සහගතයි. ඒ නිසා ජාතික ආරක්‍ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් අරගෙන තිබෙනවා. තේරීම් කාරක සභාවේ දී සභාපතිවරයා කියනවා, නිලධාරීන්ට ජාතික ආරක්‍ෂාවට බලපෑමක් තිබෙන ඕනෑම දෙයක් හෙළි නොකර ඉන්න අවස්ථාව ඔවුන්ට තිබෙනවා කියලා. ඒ නිසා මේ තේරීම් කාරක සභාව රටේ ජාතික ආරක්‍ෂාවට හෝ බුද්ධි අංශවලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ප්‍රශ්නය වෙලා තිබෙන්නේ මාධ්‍යවලින් තේරීම් කාරක සභාවේ ඉතා කුඩා කොටස් පමණක් ප්‍රචාරය කිරීමයි. සභාපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මාධ්‍ය වාර්තා කරනවා නම් මේ ගැටලුව මතු වෙන්නේ නෑ.


නව අදහස දක්වන්න