කොස්තාපල් ඝාතනය වසර 11කට පසු හෙළිවෙයි | දිනමිණ

කොස්තාපල් ඝාතනය වසර 11කට පසු හෙළිවෙයි

විජයානි එදිරිසිංහ
උපාලි කරුණාරත්න

වසර එකොලහකට පෙර අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකුගේ ඝාතනය වැළලී යාමට තිබියදී රහස් පොලිසිය වසර එකොලහකට පසු එම අපරාධයේ සියලු තොරතුරු හෙළි කැර ගෙන ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

පසු ගිය වසරේ වව්නතිවි ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු මාර්ග බාධකයක දී ඝාතනය කර තිබියදී එම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරික්ෂණ ආරම්භ කර තිබුණි. එසේ පරක්ෂණ සිදු කරමින් තිබියදී රහස් පොලිසියට මීට වසර එකොලහකට පෙර අභිරහස් ලෙස අතරුදන්වී සිටි පොලිස් කොස්තාපල්වරයකු ඝාතන සිද්ධියක් ද අනාවරණය කර ගැනීමට හැකි වී තිබුණි. මේ අනුව මෙසේ අතුරුදන්වී සිටියේ අංක 73557 දරන නගරාශා ප්‍රශාන්තන් නමැති මෙම පොලිස් නිලධාරියාය. මොහු මඩකළපුව පොලිසියේ සේවය කරමින් සිටියදී කොක්කඩිචෝලේ පොලිසියට ස්ථාන මාරුවක් ලැබී තිබුනේ 2008 වර්ෂයේ දී ය.

පසුව මොහු 2008 අගෝස්තු 01 වැනිදින එම ස්ථාන මාරුව ලබා මඩකළපුව පොලිසියෙන් පිටත්ව ගිය ද ඉන් පසු මොහු අතුරුදන්වී ඇත.

පසුව මෙම පොලිස් කොස්තාපල්වරයාගේ පියා විසින් පොලිසියට පැමිණිල්ලක් කරමින් තම පුතා අතුරුදන්වී ඇති බව දන්වා සිටියේය.

පොලිසිය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පරික්ෂණ පැවැත්වුවද මෙම අතුරුදන් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වුයේ නැත.

පසුව රහස් පොලිස් නිලධාරින් විසින් ඉහත සඳහන් පරිදි මෙම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ප්‍රශ්න කිරීමේදී මෙම පොලිස් නිලධාරියාට වෙඩි තබා ඝාතනය කර කාත්තන්කුඩි ප්‍රදේශයේ මුනේකාඩු සුසාන භුමියේ වළ දමා ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබුණි.

පසුව ඊයේ ඝාතන ස්ථානයත් වළ දැමූ ස්ථානයත් සොයා ගත් රහස් පොලිසිය මඩකළපුව මහේස්ත්‍රාත්වරයාගේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අධික්ෂණය යටතේ මෙම මෟත දේහය ගොඩ ගැනීමේ කටයුතු සිදු වෙමින් පැවැතිනි. ඊයේ පස්වරුව වන විටත් එම ස්ථානයේ කැනීම් කටයුතු සිදු වෙමින්තිබූ අතර පසුව අද දිනට එම කටයුතු කල් තබා එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.

මෙම සැකකරුවන් ඊයේ මඩකළපුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


නව අදහස දක්වන්න