නව තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් 13ක් නම් කෙරේ | දිනමිණ

නව තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් 13ක් නම් කෙරේ

මහින්ද අලුත්ගෙදර

විදේශ තානාපති සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 13 දෙනකු නම් කැර තිබේ.

විදේශ සේවාවේ 9 දෙනකු සහ අනකුත් වෘත්තීය ක්ෂේත්‍රයන් නියෝජනය කරන සිවු දෙනකු ඊට ඇතුළත් වන අතර පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය සඳහා එම නම් සියල්ල යොමුකර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම කාරක සභාවේ අනුමැතිය ලැබුණු පසුව අදාළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඒ ඒ රටවල තානාපති සේවය සඳහා පත්කරන අතර එම පත්කිරීම ජනාධිපතිවරයා සිදු කිරීමට නියමිතයි.

ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතා ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් නම්කර තිබෙන අතර හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් නම් කැර තිබේ. කිත්සිරි ඇතුලත්මුදලි මහතා කටාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද හිටපු අතිරේක මැණුම්පති නිමල් කරුණාරත්න මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ද නම් කැර ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන ආචාර්ය ඒ.එස්.යූ මෙණ්ඩිස්, මොහොමඩ් ජවුහර්, ශානිකා දිසානායක, ඩබ්ලිව්.ජී.එස් ප්‍රසන්න, හිමාලි අරුණතිලක, ලක්ෂිත රත්නායක, සුගීෂ්වර ගුණරත්න, සහ ඩී.පී.සී.ඩබ්ලිව්. කරුණාරත්න මහත්ම මහත්මීන් මෙලෙස තානාපතිවරුන් ලෙස කුවේටය, කොරියාව, ජෝර්දානය, වියට්නාමය, නේපාලය, කියුබාව, ඉතියෝපියාව සහ ලෙබනනය සඳහා නම්කර තිබෙන අතර ඒ.එස්. ඛාන් මහත්මිය නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වශයෙන් නම්කර තිබේ.


නව අදහස දක්වන්න