කටුවාපිටිය දේවස්ථානයට I-Panel සිවිලිම් ෂීට් පිරිනමයි | දිනමිණ

කටුවාපිටිය දේවස්ථානයට I-Panel සිවිලිම් ෂීට් පිරිනමයි

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වා දුන් Idea සමූහ ව්‍යාපාරය, පාස්කු ඉරු දින ප‍්‍රහාරයෙන් හානියට පත් මීගමුව, කටුවාපිටිය කතෝලික දේවස්ථානයෙහි සිවිලිම ප‍්‍රතිසංස්කරණය සඳහා I-Panel සිවිලිම් ෂීට් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදුවිය. සමාජ සත්කාරයක් හා මානව වගකීමක් වන එම පුණ්‍ය කි‍්‍රයාවෙහි පොරොන්දු ඵලකය Idea සමාගමෙහි සභාපති, සම්පත් මායාකඩුව මහතා විසින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් වෙත පසුගිය දා කොළඹ අගරදගුරු නිල නිවෙසේ දී පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ ජල ගැලීම්, නායයෑම්, සුළිසුළං වැනි ස්වභාවික ආපදාවන් සිදුවූ සෑම අවස්ථාවකම සැනෙකින් ආපදාවට පත් ජනතාවගේ පිළිසරණට ශී‍්‍ර ලාංකේය ජනතාව ඉදිරිපත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. එමෙන්ම 100%ක් ශී‍්‍ර ලාංකේය සමාගමක් ලෙස Idea සමාගම ද මෙරට ජනතාව විපතට පත් සෑම අවස්ථාවකම ඔවුන්ගේ පිළිසරණට ඉදිරිපත්වීම නිරායාසයෙන්ම සිදු කරනු ලබයි. පසුගිය පාස්කු ඉරු දින ප‍්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පිළිසකර කිරීම් දායකත්වය ලබාදීමට Idea සමාගම ඉදිරිපත් වූයේ මෙරට කතෝලික ජනතාවට දක්වන දයාබරත්වයක් ලෙසිනි.

ශ්‍රී ලාංකේය සමාගමක් ලෙසින් Idea සමාගමේ සැමවිටම ප‍්‍රාර්ථනය වන්නේ ජාති ආගම් භේදයකින් තොරව සියලු ශී‍්‍ර ලාංකිකයන් එක මවකගේ දරුවන් මෙන් සහජීවනයෙන් ජීවත්වීමය. නමුත් පාස්කු ඉරු දින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය දැඩි සංවේගයට පත්ව සිටිති. එමෙන්ම විපතට පත් කතෝලික ජනතාවට Idea සමාගමේ සංවේගය පළ කරන බව ද මායාකඩුව මහතා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්ට දන්වා සිටියේය.

 


නව අදහස දක්වන්න