නෙල්නා 20වැනි සංවත්සරය සමරයි | දිනමිණ

නෙල්නා 20වැනි සංවත්සරය සමරයි

‘අපේකම රැකගෙන අපේ රට පෙරටම‘ යන නැවුම් සංකල්පය යටතේ, 100%ක් දේශීය ව්‍යාපාර සමූහයක් වන ‘නෙල්නා‘ පසුගිය දා සිය 20 වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. දේශීයත්වය නිරතුරුව රැකගෙන, ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගැනීමේ ඉදිරි දැක්මෙන් යුතුව කටයුතු කරන නෙල්නා, අද වන විට සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක නිෂ්පාදන ජනතාව වෙත හඳුන්වාදෙන දැවැන්ත ව්‍යාපාර සමූහයක් බවට පත්ව සිටියි.

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදගැස්ම හඳුනාගත් වෙළෙඳ නාමයක් ලෙස පසුගිය දශක දෙකක කාලය පුරා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති නෙල්නා සමූහ ව්‍යාපාරය මේ වන විට නෙල්නා ෆාම්, නෙල්නා ඇග්‍රි බිස්නස්, නෙල්නා බ්‍රීඩර්ස්, නෙල්නා ෆීඩ් මිල්, නෙල්නා ඉම්පෙක්ස් යන ආයතනවල හිමිකාරීත්වය උසුළයි. 1500කට අධික සේවක පිරිසක් සෘජුව නෙල්නා ව්‍යාපාර සමූහයේ රැකියාවෙහි නියුතුව සිටින අතර, තවත් දහස් ගණනක පිරිසක් වක්‍ර ලෙස නෙල්නා සමූහය හරහා සිය ජීවනෝපාය සරිකර ගනිති. නෙල්නා ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වනුයේ කීර්තිමත්, දේශීය, සිංහල ව්‍යාපාරිකයකු වන ඩබ්ලිව්. ජී. එඩී. ගුණපාල නානායක්කාර මහතාය. ඔහුගේ බිරිඳ වන සීතා රංජනී නානායක්කාර සහ දූ පුතුන් වන පුණ්‍යා නානායක්කාර, හේමමාලි නානායක්කාර හා අසංක නානායක්කාර යන මහත්ම මහත්මීහු නෙල්නා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරති.

නෙල්නා ව්‍යාපාර සමූහයේ 20වැනි සංවත්සරය පිළිබඳ අදහස් දක්වමින් එහි නිර්මාතෘ සහ සභාපති ඩබ්ලිව්.ජී එඩී ගුණපාල නානායක්කාර මහතා පැවැසුවේ ‘ඉතා කුඩා ව්‍යාපාරයක් ලෙස මා විසින් මීට දශක දෙකකට පෙර ආරම්භ කළ නෙල්නා ආයතනය අද මහා පරිමාණයේ ව්‍යාපාර සමූහයක් බවට පත්ව තිබීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.මේ පැමිණි ගමන්මඟ කිසිසේත්ම පහසු එකක් නොවෙයි. මෙවන් සාර්ථකත්වයක් කරා පැමිණි ගමනේදී මා සමඟ විශාල පිරිසක් සිටියා. ඒ අතරින් සමාගමේ ජීවය බඳු පාරිභෝගිකයන් සහ ගනුදෙනුකරුවන්ගෙන් හිමි වූ සහයෝගය ද කිසිසේත්ම අමතක කළ නොහැකියි. අප සමාගම නිරතුරුවම සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක නිෂ්පාදන පමණයි පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන්නේ. කිසිදු අවස්ථාවක ජනතාවට අහිත කර වන නිෂ්පාදනයක් නෙල්නා නාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් වන්නේ නැහැ. මෙරට ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ලාංකේය වෙළෙඳ පොළ ජයගත් නෙල්නා නාමය ලොව දිනූ වෙළෙඳ නාමයක් බවට පත් කිරීම මගේ අරමුණයි‘ යනුවෙනි.

 


නව අදහස දක්වන්න