නිහඬව නික්මගිය බරසාර මිනිසා ප්‍රේමපාල හේවාබටගේ | දිනමිණ

නිහඬව නික්මගිය බරසාර මිනිසා ප්‍රේමපාල හේවාබටගේ

ප්‍රතිවිරෝධයන් රහිතව තම දේශපාලන භාවිතාව නඩත්තු කරගෙන යාම අභියෝගයකි. ඊනියා විප්ලවවාදීන්, දේශප්‍රේමීන් මෙන්ම, ජාතිවාදීන් ද බහුල සමාජයක, අර්ධ මිනිසුන් බිහිවීම අනිවාර්යයකි. පරිපූර්ණ මනුෂ්‍යත්වය, පිළිබඳව පවත්නා හිඩැස අර්ධ මිනිසුන්ට , ප්‍රතිවිරෝධතා සහිත විප්ලවවාදීට හෝ දේශප්‍රේමීන්ට පිරිවිය නොහැකිය.

මනුෂ්‍යත්වයේ පරිපූර්ණත්වය විශද කළ මිනිසෙක් පසුගියදා නික්ම ගියේය. ඔහු 1971 කැරැල්ලේ ප්‍රමුඛයෙකි. 1989 සමාජ ව්‍යාකූලත්වයේදී ද්‍රෝහියෙකි. මරණයට නියම වූවෙකි.

ස්වයං විවේචනයක යෙදෙමින් සමාජ අරගලය පිළිබඳව ඉමහත් ධෛර්යකින් යුතුව කටයුතු කළ මිනිසෙකි.

මා ප්‍රේමපාල හේවාබටගේ හඳුනාගත්තේ තමන් මෙන්ම සොඳුරු මිනිසෙක් වූ සරත් අයියා (සරත් ප්‍රනාන්දු) හරහාය. ප්‍රේමපාල හේවාබටගේ පසුව 71 සහෝදරත්ව සංසදයේ කැපීපෙනෙන කාර්යය සමුදායක නිරතවිය.

ගංගොඩවිල දී ජන්මය ලැබූ ප්‍රේමපාල හේවාබටගේට පරම්පරාවෙන් උරුමවන දේශපාලනය විය හැකිව තිබුණේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනයයි. පියා සංස්කෘත හා පාලි උගතෙක් වූ අතර මව සමාජය පිළිබඳ ඉදිරිගාමී දැක්මක් සහිත කාන්තාවක් වූවාය.

කම්කරු ව්‍යාපාරය පිළිබඳවද, ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්ති පිළිබඳවද සිය මතය නොබියව පළකළේය. වාමාංශික පක්ෂ නායකයින් සභාග ආණ්ඩුවලට ජැක් ගැසීම නිසා කම්කරු අරගල මර්දනය කරන්නට පහසු වූ බව ප්‍රේමපාල හේවාබටගේ අප සමඟ පැහැදිලි කළේය.

විශේෂයෙන් 80 වර්ජනය, පොඩිපට්ටම්කර දැමීමට ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට හැකිවන්නේ වාමාංශික පක්ෂ නායකයින් නිසා බව ඔහු නොබියව ප්‍රකාශ කළේය.

පොදු අරමුණක් වෙනුවෙන් නොවෙහෙසෙන ජීවිතයකින් අර්ථයක් නැතැයි විශ්වාස කළ ප්‍රේමපාල හේවාබටගේ ජීවිත විලාසිතාව බවට පත්කරගත්තේද වෙහෙසීමය. බන්ධනාගාර ජීවිතයෙන් ලැබුණු නිදහසත් සමඟ රැගෙන ආ සන්නාලිකම කාලයක් මේ විප්ලවාදියාගේ වෘත්තීය විය. තවත් විටෙක ඔහු කම්කරු රැකියාවකද නිරත විය.

ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සමඟ කටයුතු කළ ප්‍රේමපාල හේවාභටගේ - සරත් ප්‍රනාන්දු සුසංයෝගය එකල අපටද වටිනා පාඩම් ඉගෙනගන්නට ඉඩ ප්‍රස්ථාවන් ලබාදී තිබුණි. විශේෂයෙන් ම අප විසින් ඉදිරිපත් කළ ලංකාවේ ගොවිජනපද ව්‍යාපාරවල අනාගතය සහ පැවැත්ම පිළිබඳව අදහස් සරත් ප්‍රනාන්දු සහ ප්‍රේමපාල හේවාබටගේ දෙපළගේ නොමසුරු අවධානයට ලක්වූවා පමණක් නොව රාජාංගණ ගොවිජනපදයේ ගොවීන් පිරිසක් සමඟ අත්හදාබැලීම් සාකච්ඡාවක නිරතවීමට ද හැකි විය.

ප්‍රේමපාල හේවාබටගේ යනු වෙහෙසට පත්ව අරමුණ අත්හැරයන වර්ගයේ විප්ලවවාදියෙක් නොවීය. සාමූහිකව වැඩකිරීමේ කලාවද තනිව හෝ උත්සාහ කිරීමේ වීර්යය ද ඔහුට තිබුණි. විධායක ජනාධිපතික්‍රමය රටට නොගැලපෙන්නේ කෙසේද යන්න ඔහු අපූරුවට විග්‍රහ කළේය. ඒ වෙනුවෙන් කොන්දේසි රහිතවම පෙනී සිටියේය. ජනවාරි 08 වෙනිදා ඇතිවූ දේශපාලන වෙනස මෙරට තරුණ පරපුරේ දේශපාලන සවින්ඥානක බව පෙන්නුම් කළ හොඳම අවස්ථාව බව ඔහු විශ්වාස කළේය. ඒ විප්ලවයක් ලෙස හඳුන්වාදෙමින් පොත පත ලියා තමන්ම විප්ලවවාදීන් ලෙස නාමපුවරු එල්ලා ගන්නට උත්සාහ කළ වුන් ගැන අවඥා සහගතව කල්පනා කළ ප්‍රේමපාල හේවාබටගේට ජනවාරි 08 වැනිදා ඇතිකළ දේශපාලන වෙනසට ලැබුණ තරුණ දායකත්වය නොසලකා හැරීම පිළිබඳවද නිර්දය විවේචනයක් තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමෙන් ජනතා ව්‍යාපාරය සමඟද ඔහු එක්වූ අතර එම අරමුණ වෙනුවෙන් වේදිකාවට ද ගොඩ විය.

රතු ඇඳගෙන කළු ව්‍යාපාර කරන විප්ලවවාදීන් පසුගිය දශක දෙක තුන තුළ දුසිම් ගණන් කරළියට එන අයුරු අපට දැකගත හැකිවිය. ප්‍රේමපාල හේවාබටගේ වඩාත් සුවිශේෂී වන්නේ විප්ලවවාදියා යන අර්ථය නොකෙළෙසූ හුදු රතු කමිසකාරයෙක් නොවීමද නිසාය. 1971 කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අංශය බාරව සිටි ඔහු ඊට පසුවද අධ්‍යාපන කඳවුරු සහ අධ්‍යාපන වැඩපිළිවෙළ අත් නොහැරීමට හේතු වූයේ එහි ඇති ඵලදායී තත්ත්වය අවබෝධ කරගෙන සිටි නිසාය.

ප්‍රේමපාල හේවාබටගේ යනු වෙනම අධ්‍යයනය කළයුතු මිනිසෙකි. කුමක් හෝ හේතුවක් නිසා අතපසුවූ කාරණයක් නම් ඔහු පිලිබඳ පළල් ලියවීමක් සහ කියවීමකි. එය අඩුපාඩුවක් ලෙස අදටත් වඩා හෙට දැනෙනු ඇත. මුලින්ම සඳහන් කළා සේම කලාවේද, සාහිත්‍යයේ සහ දේශපාලනයේද ප්‍රතිවිරෝධතා සහිත පුද්ගල චරිත පිළිබඳ අතිශයෝක්ති, වර්ණනා ලියැවිලි වලින් මනුෂ්‍යත්වයේ පරිපූර්ණ මිනිසුන් - වැසියාට යටපත්වීම ඛේදවාචකයක් බව නොවැටහීමද බරපතළය.

බොහෝවුන් පෙරහර පෙරටුකරගෙන නික්මයද්දී නිහඬව නික්මයන - ප්‍රේමපාල හේවාබටගේ වැන්නවුන් හඹාගොස් ඇති බරසාර අඩිමත අඩි තබා යන පරපුරක් නැතිවීමද දැනෙන කාරණයකි.

මේ සටහන ඒ මිනිසා තැබූ බරසාර අඩි මත ඇවිදයන වුන් සිටී නම් ඔවුන් ද වෙනුවෙනි.

කුමාරදාස ගිරිබාව


නව අදහස දක්වන්න