ළමයින්ට ලියන්න කැමැතියි | දිනමිණ


 

ළමයින්ට ලියන්න කැමැතියි

බුද්ධිකා ඉඹුලාන
නිහාරා මොනරවිල

පාසල් ශිෂ්‍යාවක ලෙස පරිවර්තන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ නිහාරා මොනරවිල, ලුවී සැචර් ලියූ Wayside School කතා මාලාවේ කතා ත්‍රිත්වය, අරුම පුදුම ඉස්කෝලේ, අරුම පුදුම ඉස්කෝලේ කඩා වැටෙයි සහ අරුම පුදුම ඉස්කෝලේට පුංචි අමුත්තෙක් ලෙස පරිවර්තනය කර, ළමා ලෝකයට තිළිණ කරයි. කෙනකු කියවීමට හුරු කරවීමට සුදුසුම කාලය ළමා කාලය බැවින්, ළමා සාහිත්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර මේ පරිවර්තන කෘති හඳුන්වා දෙන බව ඇය පවසන්නීය. කියවීම සහ ලිවීම පිළිබඳ නිහාරා මොනරවිල සමඟ කළ සාකච්ඡාවකි මේ.

"අරුම පුදුම ඉස්කෝලේට පුංචි අමුත්තෙක් " ඔබේ නවතම පරිවර්තන ළමා නවකතාව පිළිබඳ හැඳින්වීමක් කළොත්?

අරුම පුදුම ඉස්කෝලේ කතා මාලාව කොටස් තුනකින් සමන්විතයි. එය ලුවී සැචර් ලියූ Wayside School කතා මාලාවේ පරිවර්තනයක්. අරුම පුදුම ඉස්කෝලේ, අරුම පුදුම ඉස්කෝලේ කඩා වැටෙයි සහ අරුම පුදුම ඉස්කෝලේට පුංචි අමුත්තෙක් ‍කියන ඒ කොටස් තුන විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මඟින් ප්‍රකාශයට පත් කළා. එක මහලක එක් පන්ති කාමරයක් තිබෙන, ඒත් 19 වැනි මහලක් නැති, මහල් 30 කින් යුත් පාසලක් ගැනයි මේ කතා මාලාව දිව යන්නේ.

ඔබ පරිවර්තන කාර්යය ආරම්භ කරන්නේ ?

පාසල් ශිෂ්‍යාවක ලෙසයි මම අරුම පුදුම ඉස්කෝලේ පරිවර්තනය කරන්නේ. ඒ, 9 ශ්‍රේණියේ දීයි. ඉන් පසු සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන කාලයේ 'අරුම පුදුම ඉස්කෝලේ කඩා වැටෙයි 'පරිවර්තනය කළා. ඒ අතර මගේ උසස් පෙළ ඒකල ව්‍යාපෘතිය ලෙස Milk Rice කෙටි කතා පොත පරිවර්තනය කළා. එය කොළඹ විශාඛා විද්‍යාලයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් "හමුවීම් සහ තවත් කතා " නමින් පාසලේ මාධ්‍ය සංසදයේ ප්‍රකාශනයක් ලෙස 2017 වසරේ දී ප්‍රකාශට පත් කළා. 'අරුම පුදුම ඉස්කෝලේට පුංචි අමුත්තෙක්' පරිවර්තනය කරන්නේ ඉන් පසුවයි.

ඔබ පොත් ලියන්නට පෙලඹෙන්නේ ?

ලියන්නට පෙර මම ඉතා කුඩා කාලයේ සිටම කියවන්න පෙලඹුණා. අකුරක් වත් කියවගන්න බැරි කාලයේත් මගේ අතේ තිබුණේ කතන්දර පොත්. ඒවායේ තිබෙන පින්තූර බලාගෙන මම අලුත් කතන්දර කියනවා. අම්මා, අප්පච්චී විතරක් නෙමෙයි, සෙල්ලම් බෝනික්කන්, සතුන් ඒ කතා අහගෙන ඉන්නවා. අපේ ගේ ඉස්සරහින් හැමදාම හවසට යන මී හරක් රංචුව, ඒ කතන්දරවල දී වැවෙන් නා ගෙන අපේ මිදුලේ මල් ගස්වලින් මල් කඩා ගෙන පන්සල් ගියා. අහස ගොරවන වට පුංචි ළමයි බය නිසා, නපුරු උකුස්සන් එකිනෙකට ගැටෙන්නට නොදී වලාකුළු දෙපැත්තට තල්ලු කරගෙන හිටියා. මෙන්න මේ වගේ ගොතන කතා අහගෙන ඉන්න මගේ වටේ බොහෝ දෙනෙක් හිටියා. මා අතින් මේ වගේ කතන්දර බොහෝ සංඛ්‍යාවක් ලියැවිලා තියෙනවා.

ඔබට පරිවර්තනයට යොමු වෙන්න හිතුණේ ඇයි?

වෙනත් භාෂාවලින් ලියූ පොත් වගේම, පරිවර්තන කියවීමෙන් විවිධ සංස්කෘතීන්, විවිධ භාෂා හඳුනා ගැනීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. විවිධත්වයට ආදරය කරන්න, රස විඳින්න පුරුදු වෙනවා. හරියට මේ ලෝකේ එක ම විධිහේ මිනිස්සු, එක ම වර්ගයේ සතුන්, එක ම වර්ගයේ මල් තිබෙනවාට වැඩිය, විවිධ මිනිසුන්, විවිධ සතුන්, විවිධ මල් වර්ග තිබෙන නිසා, මේ ලෝකය ලස්සන වෙලා තියෙනවා වගේ. සිංහලෙන් විතරක් කියවන අයට ඒ කතා කියවන්න තියෙනවා නම් කොච්චර හොඳද? කියලා ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ පොත් කියවද්දී මට හිතෙනවා. එහෙම පරිවර්තනය කරද්දි, ළමයින්ට කියවන්න නම් ඉතා ම සරල භාෂාවක් යොදා ගන්න අවශ්‍යයයි කියලා මට හිතෙනවා. ඒකට හේතුව, කුඩා කාලයේ අපි, වටහා ගන්න බැරි බර සාර වචන තියෙන පොත් කියවන්න කැමැති නැහැ. මම කුඩා කාලයේ කියවන්න කැමැති විධිහට ලියන්න පෙලඹෙන්නේ ඒ නිසයි.

කියවීමට, ලිවීමට ඔබට ලැබුණ ආභාෂය කෙබඳුද?

කියවනවා, ලියනවාට අමතර දෙයක් මගේ ගෙදර පරිසරයේ තිබුණෙ නැති තරම්. ඒ නිසා මට ඒවාට අමුතුවෙන් හුරු වෙන්න සිදු වුණේ නැහැ. අවශ්‍ය නම් එළි වෙනකම් කියවන්න වුණත් මට අවසර තිබුණා. සාමාන්‍ය පෙළ , උසස් පෙළ කරන කාලයේත් මම පොත් කියෙව්වා. පොඩි කාලයේ ඉඳන් ම මට කැමැති දේ කරන්නත්, අකමැති දේ නොකරන්නත් මට ඉඩ ලැබුණා. අධ්‍යාපන කටයුතුවලදී ඒ නවයක් ගන්න, උසස් පෙළ ඒ තුනක් ගන්න හීන මට තිබුණෙ නෑ. එහෙම පීඩනයක් එල්ල වුණෙත් නෑ. කෙටියෙන්ම කියනවා නම්, විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න අදහසක් නොතිබුණ නිසා, විභාගයට මාස 6ක් විතර තිබියදී යන අමතර පන්තිය නවත්තන්න පවා මට අවසර තිබුණා. කොහොම වුණත්, උසස් පෙළ ප්‍රතිඵල අනුව මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයට සුදුසුකම් ලැබුවා. ඒ නිදහස මම හිතන්නේ මගේ වයසේ අනෙක් අයට ලැබුණේ නැහැ. දැන් නංගිලා, මල්ලිලාට නම් කොහොත්ම ලැබෙන්නෙ නැහැ. පාසලට, පන්තිවලට හා ගෙදර වැඩවලට හිර කරලා‍, නිර්මාණශීලි දරුවන් බිහි කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒක විහිළුවක්.ඒ වගේ පරිසරයකින් සමාජයට ආදරය නොකරන ආත්මාර්ථකාමීන් පිරිසක් බිහි වීම, අහන්නත් දෙයක් ද?

කියවීම කෙනකුගේ ආකල්පමය වෙනසට හේතුවක් බව ඔබ සිතනවා ද?

කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් තියෙනවානේ. කියවීමෙන් අපට බොහෝ දේ පිළිබඳ නිවැරැදි දැනුමක්, අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම, තවත් කෙනකු ගේ දුක, සතුට හඳුනා ගත හැකි සංවේදී හදවතක්, කියවන්නකුට හිමි වෙනවා. පොත් කියවන හා නොකියවන අය අතර වෙනස හොඳින්ම පෙනෙන්න තිබෙන දෙයක්. ඒත්, රූපවාහිනිය, අන්තර්ජාලය කියන්නේ ප්‍රතික්ෂේප කළ යුතු දේ නෙමෙයි. මම කියන්නේ පොතට ඇබ්බැහි වූවන් හා රූපවාහිනියට, අන්තර්ජාලයට ඇබ්බැහි වූවන් අතර විශාල පරතරයක් තිබෙනවා.

වර්තමානයේ ළමයින් කියවීමෙන් ඈත් වී තිබෙන්නේ ඇයි?

බොහෝ පාසල්වල ක්‍රීඩාවට, ගායනයට, නර්තනයට ලබා දෙන ප්‍රමුඛත්වය, ලිවීමට, කියවීමට ලබා දෙන්නේ නෑ. ගෙදර පරිසරය නැත්නම් පාසලෙන් තමයි ළමයින් ඊට යොමු කරන්න පුළුවන්. එහෙම නැතුව කියවන පොත් පාසලට ගේන එකත් තහනම් කරනවා නම්, කියවීම නරක වැඩක් වගේ අදහසක්නෙ ළමයින්ට යන්නේ. පාසල් පුස්තකාලය සීමා රහිතව ළමයින්ට පරිහරණයට දෙන්න ඕනෑ. "බුක් රීඩිං" වැනි වැඩසටහන් පවත්වන්න පුළුවන්. පොත් කියවන්නන් ගේ සංගම් හදා ගන්න පුළුවන්. එතකොට ළමයින්ට පොත් පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නත්, නිර්මාණශීලිත්වය වර්ධනය කර ගන්නත් අවස්ථාව ලැබෙනවා. දැන් නම් ෆේස් බුක් වගේ සමාජ ජාලාවල යම් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒත්, පාසල් ළමයින්ට ෆේස් බුක් තහනම් නේ.

ඔබට, පරිවර්තනවලින් ඔබ්බට ගොස් තමන්ගේම නිර්මාණයක් කිරීමේ අදහසක් නැතිද?

ස්වයං නිර්මාණයක් පිළිබඳ හිතන්න තවම වේලාසන වැඩියි කියලයි මට හිතෙන්නේ. ඒ සඳහා මම තව බොහෝ දේ ඉගෙන ගන්න අවශ්‍යයයි. තවත් බොහෝ පොත් පත් පරිශීලනය කළ යුතුයි. ඒ වගේ ම, විවිධ සංස්කෘති, වෙනත් රටවල සාහිත්‍ය කියවිය යුතුයි. ඒ නිසා, ස්වයං නිර්මාණයක් කරන්න නම් තව කාලයක් යනවා. පරිවර්තනවලදීත් හොඳ නිර්දේශයක් මත පොත් තෝරා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කුඩා ළමයින් වෙනුවෙන් ලියන්න මම කැමතියි. ඒකට හේතුව, කියවීම පුරුදු පුහුණු කරන්න පුළුවන් හොඳ ම හා පහසුම කාලය ළමා කාලය කියලා මම හිතනවා. ඒත් එය හරි ම පරෙස්සමින් කළ යුතු දෙයක් බව මම විශ්වාස කරනවා. මම කුඩා කාලයේ කියවන්න, රස විඳින්න කැමැති වූ විධිහට‍, ඔවුන් වෙනුවෙන් ලියන්න මම උත්සාහ කරනවා. කවදා හරි ස්වයං නිර්මාණවලදීත් මගේ අවධානය බොහෝ විට ළමා කතා සාහිත්‍යයට යොමු වේවි.

නව අදහස දක්වන්න