ලියන්න කලින් කතාව මනසේ ලියා ගන්නවා | දිනමිණ

ලියන්න කලින් කතාව මනසේ ලියා ගන්නවා

බෘස් ස්ටලින්

ලෝප්‍රකට විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් සහ “Magician Spies and Wacky Rubbish” නම් සුප්‍රකට ප්‍රබන්ධ කතාවේ රචකයා වන අමෙරිකානු ජාතික බෘස් ස්ටලින් (Bruce Sterling) සමඟ, Clarkesworldmagazine.com වෙබ් අඩවිය කරන ලද සාකච්ඡාවක පරිවර්තනයකි මේ. අමුතු විනෝදාංශ තිබෙන ලේඛකයකු වන මොහු, අමුතු විද්‍යාඥයන්ගේ පර්යේෂණ කෙරෙහි දැඩි ලෙස ඇලුම් කරන්නෙකි.

ඔබ, ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ නවකතා රචකයකු ලෙසයි ප්‍රකට?

ඔව්. එයට හේතුව මගේ Mirrorshades නම් අතිශය ජනප්‍රිය වුණු විද්‍යා ප්‍රබන්ධ නවකතාව. මම විශ්වවිද්‍යාලයේදීත් විද්‍යාව පිළිබඳ ගැඹුරින් හැදෑරුවා. ඒ වගේම, මගේ ග්‍රන්ථ cyberpunk ගණයට අයත් වෙනවා. එයින් අදහස් කරන්නේ, අනාගත ලෝකයේ පරිගණකය මඟින් විශාල ලෙස සමාජය මෙහෙයවීම නිරූපණය කෙරෙන ආකාරයේ විද්‍යා ප්‍රබන්ධ වර්ගයක්. බොහෝ දෙනෙක් මම මේ cyberpunk හි පියා ලෙසත් හඳුන්වනවා.

ඔබගේ “Magician Spies and Wacky Rubbish” නම් නවකතාව සම්පුර්ණයෙන් පාදක වෙලා තිබෙන්නේ, වර්චුවල් රියැලිටි - Virtual Reality(VR) තාක්ෂණය මතයි. ඔබට කොහොමද එයට අදහස ආවේ?

මම බොහෝවිට, නිතරම අලුත් තාක්ෂණය ගැන සෙවිල්ලෙන් ඉන්නේ. ඒ අතරතුරේ මා වැඩියෙන්ම පුදුමයට හා කුතුහලයට පත් කළ තාක්ෂණය තමයි වර්චුවල් රියැලිටි කියන්නේ. මම මුල්ම වතාවට මේ පිළිබඳ සිතන්නට පෙලඹුවේ, ගූගල් ග්ලාස් (Google Glass) උපාංගයයි. ඔවුන් සිතුව තරමට, එම උපාංගය සාමාන්‍ය ජනතාව අතරට නොගියත්, මගේ කතාව තුළ නම් තිබෙන්නේ එවැනි උපාංගයක් සියලු ම මිනිසුන් භාවිත කළහොත්, මේ ලෝකය කොයි තරම් දුරට වෙනස් වෙනවාද යන්න පිළිබඳ කතාවයි.

මේ මොහොතේ එය කල්පිතයක් වුණත්, නුදුරු අනාගතයේ එය සත්‍යයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙයත් cyberpunk ගණයට අයත්. මීට අමතරව මට කියන්නන පුළුවන් අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයන් බොහෝදෙනකු, වර්චුවල් රියැලිටි තාක්ෂණය ගැන ලියන්න කැමැත්තක් දක්වනවා.

වර්චුවල් රියැලිටිවලට අමතරව, ඔබගේ අවධානය යොමුව තිබෙන අනෙකුත් තාක්ෂණ මොනවාද?

ඊළඟට මගේ අවධානය බොහෝ දුරට යොමු වී තිබෙන්නේ, 3D මුද්‍රණය ගැනයි. ඒ වගේම, ඩ්‍රෝන ගැනත් මම නිතරම සොයනවා. තාක්ෂණය නිතරම සිත්ගන්නා සුළු දෙයක් නෙමෙයි. සමහර ඒවා ගොඩක් පරණ දේ නැවතත් ජනප්‍රිය වීමක්. සමහර තාක්ෂණය නම් මේ ලෝකයට අලුත් ම අලුත් දේ.

Pirate Utopia කියන්නේ ඔබෙන් කෙරුණ වෙනස්ම නිර්මාණයක්. ඒක සිද්ධ වුණේ කොහොමද?

තාක්ෂණයට අමතරව, ඉතිහාසය ගැනත් මගේ ලොකු උනන්දුවක් තිබෙනවා. අතීත පුරාවෘත්ත, යුද්ධ කතා, සමහර විට මිථ්‍යා කතා ගැන සොයා බලන්න සහ ලියන්න මම බොහොම කැමැතියි. මේ කතාව, 1919-1920 රිජේකා නම් ප්‍රාන්තයේ ජීවත් වුණ මිනිසුන් ගැන කතාවක්. ඊට වඩා වැඩි යමක් කිව්වොත්, එහි රසය නැති වෙයි නේද?

ඔබගේ ‘ද සීක්‍රට් ලයිෆ් ඔෆ් හවුඩිනි’The Secret Life of Houdini කතාවේ ‘හවුඩිනි’ චරිතය ගැන බොහෝ දෙනා කතා කරනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

හවුඩිනි ගේ කතාව ගොඩනැගෙන්නේ, සත්‍ය පුරාවෘත්තයක් පදනම් කරගෙනයි. අද කාලෙට අනුව කියනවා නම්, ඔහු රහස් ඒජන්තවරයෙක්. අපි අද වර්තමානයේ ජනප්‍රිය හිට්මෑන් වගේ චරිතයක් කිව්වොත් නිවැරැදියි. ඒත්, හවුඩිනි ගේ විශේෂත්වය වෙන්නේ, ඔහු අතීතයේ ජීවත් වීම සහ මෙහි ඇති සියලු සිදුවීම්, අතීත සමාජය තුළ සිදු වීමයි. හවුඩිනි අනෙක් වෙනස්කම වන්නේ, අපි වර්තමානයේ දකින අමෙරිකානු චිත්‍රපටවල සිටින රහස් පරික්ෂකවරු බොහෝ විට රාජකාරියටම යොමුව සිටින චරිතයි. ඒත්, හවුඩිනි කියන්නේ නම් විහිළු චරිතයක්.

ඔබගේ ලිවීමේ කාර්යය සිදු වෙන්නේ කොහොමද? චරිතයක් නිර්මාණය වෙන්නේ කොහොමද?

මම ලිවීමට පෙර, අනිවාර්යයෙන් ම කතාවේ එක් කොටසක් මගේ මනස තුළ ගොඩනගනවා. මම බොහෝ වෙලාවට මම දකින මිනිසුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කරනවා. ඒ වගේම, මම නිතරම සිදුවන අහඹු සිදුවීම් ගැන කල්පනා කරනවා. එය සිදුවීමට හේතුව මම කල්පනා කරනවා. සමහර වෙලාවට ඒවයෙන් මට අලුත් අදහස් එන වෙලාවල් තිබෙනවා. ඒ අනුව මං කතාව සහ චරිත ගොඩනගනවා. ඉතිහාසය ගැන ලිවීමේදී නම්, මම බොහෝ විට කාලය ගත කරන්නේ පුස්තකාලය තුළයි. මගේ ඉතිහාස කතා සමහරවිට කල්පිතයන් වුවත් ,ඒවායේ ඇති පරිසරය සහ සංස්කෘතිය සත්‍ය ලෙසම කතාව තුළ ගොඩ නැගීමට මම වග බලා ගන්නවා. එය යම්කිසි ආකාරයක අභියෝගයක්.

ඔබ මේ තාක් ලියන ලද ග්‍රන්ථ මොනවාද?

මං මේවන විට ග්‍රන්ථ 20ක් පමණ රචනා කර තිබෙනවා. හොලි ෆයර්, අයිලන්ඩ්ස් ඉන් ද නෙට්, ද හැකර් ක්‍රැක්ඩවුන්, අ ගුඩ් ඕල්ඩ්-ෆැෂන්ඩ් ෆියුචර්, හෙවි වෙදර්, ඩිස්ට්‍රැක්ෂන්, ද ආර්ටිෆිෂල් කිඩ් ඉන් පොත් කිහිපයක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

ඔබ ග්‍රන්ථ රචකයකුට අමතරව වෘත්තීන් කිහිපයකම නිරත වෙනවා නේද?

මං පොත් ලිවීමට අමතරව කථිකයෙකු, නිර්මාණ උපදේශකවරයකු, අනාගතය දකින්නකු ලෙස වෘත්තීන් කිහිපයකම යෙදෙනවා.

ඔබ මේ සෑම දෙයකටම කාලය සොයාගන්නේ කොහොමද?

මේ සෑම දෙයකටම මං කාලය යොදවන්නේ, කාලසටහනකට අනුවයි. මේ එක වෘත්තියක්වත් රජයේ රැකියාවක් හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් මෙන් උදෑසන ගොස් හවසට නිවෙසට පැමිණෙන ආකාරයේ රැකියා නෙමෙයි. මං කාගේවත් යටතේ වැඩ කරන අයෙකුත් නෙමෙයි. ස්වාධීනව රැකියා කරන්නෙක්. මට අවශ්‍ය ආකාරයට මගේ කටයුතු කරගෙන යාමට මට උපරිමයෙන් නිදහස තියෙනවා. මේ නිසා, මේ වෘත්තීන් සියල්ලටම සාධාරණයක් ඉටු වන ආකාරයට මං කාලය බෙදාගෙන වැඩ කරනවා. ඒක මට හරිම පහසුවක්. මං ඉතාම තෘප්තිමත්.

ඔබට ලැබී තිබෙන සම්මාන පිළිබඳ කතා කළොත් ?

මං මේවනවිට සම්මාන ගණනාවකට පාත්‍ර වී තිබෙනවා. ඒත්, මං සම්මාන බලාපොරොත්තුවෙන් මේ කිසිදු කාර්යයක් කරන්නේ නැති බව අවංකවම කිව යුතුයි. හුදෙක් මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් පමණයි මේ දේ සිදු කරන්නේ. සම්මාන ගැන කතා කළොත්, මගේ 'ඩිස්ට්රැක්ෂන්' නවකතාවට 2000 වසරේදී 'ක්ලාර්ක්' සම්මානයත්, Taklamakan කෘතියට හොඳ ම විදේශ කෙටිකතා පොතට හිමි 'හයකාවා' සම්මානයත්, එම කෙටිකතා පොතටම 'හියුගෝ' සම්මානයත්, 'අයිලන්ඩ්ස් ඉන් ද නෙට්' කෘතියට 'කැම්ප්බෙල්' සම්මානයත්, 'බයිසිකල් රෙපෙයාර්මන්' කෘතියට 'හියුගෝ' සම්මානයත් හිමි වුණා. මට මේ සම්මාන හොඳටම ප්‍රමාණවත්.

යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න