රාජ්‍ය ව්‍යාපාර ගොඩනැංවීම! | දිනමිණ

රාජ්‍ය ව්‍යාපාර ගොඩනැංවීම!

පාඩු ලබන රාජ්‍ය ආයතන නඟාසිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා ආරම්භ කර ඇති වැඩසටහන සාමුහික අභිලාස ගිවිසුම ලෙස හැඳින්වේ. මෙහි ඉලක්කය වන්නේ රජය සතු ව්‍යාපාර ජනතාවට බරක් නොවන අයුරින් පවත්වාගෙන යෑම සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම ය. මේ වනවිට රජය සතු ව්‍යාපාර ආයතනවලින් බොහොමයක් පාඩු ලබමින් හෝ යන්තමින් පවත්වාගනිමින් හෝ ක්‍රියාත්මක වෙයි. ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි උපදේශනය වන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමිය යුතු බවය. එහෙත් රජය ඊට එකඟ නොවී රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා උපාය මාර්ග සෙවීම අතිශයින්ම වැදගත් කාරණයකි.

රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් වන වගකීම මහා භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය දැරිය යුතුය. මේ අනුව පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පවත්වාගැනීම සඳහා මහා භාණ්ඩාගාරය වරින් වර මුදල් ප්‍රතිපාදන වෙන් කරයි. මෙසේ වෙන් කරනු ලබන්නේ මහජන සුබ - සාධනයට හා රටේ සංවර්ධනයට යෙදිය යුතු මුදල් ය. මහා භාණ්ඩාගාරය වාර්ෂිකව මෙලෙස විශාල මුදලක් වැය කරන අතර එය මහජනයාගේ විවේචනයට ද ලක් වී ඇත. පාඩු ලබන ආයතන වසා දැමීම පහසුවෙන් කළ හැකි වුව එයින් ආර්ථිකයට ඇතිවන ප්‍රති - විපාකවලට මුහුණදීමට රජයට සිදුවේ. නිදසුනක් ගතහොත් ආයතනයක් වසා දැමීමෙන් පිරිසකට රැකියා අහිමි වෙයි. මේ තත්ත්වය සමාලෝචනය කරනවිට පෙනී යන්නේ පවතින රාජ්‍ය ව්‍යාපාර පවත්වාගැනීම සඳහා උපායමාර්ග සෙවීම හැම අතින් ම වැදගත් බව ය.

රජය සතු ව්‍යාපාර ආයතන පවතින්නේ එකිනෙක අමාත්‍යාංශ යටතේ ය. එම අමාත්‍යාංශ අවසන් ලෙස මුදල් අමාත්‍යාංශයට ව්‍යාපාර ආයතන සම්බන්ධයෙන් වගකිව යුතුය. ව්‍යාපාර නැංවීමේ උපායමාර්ගික වැඩසටහනේ දී පාර්ශ්ව තුනම සාමුහිකව ක්‍රියාත්මක සැලැසුම් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සිදුකරයි. එය සාමුහික අභිලාස වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙයි. පළමුව මෙබඳු රාජ්‍ය ව්‍යාපාර දහයක් සඳහා සාමුහික අභිලාස ගිවිසුම් අස්සන් කර තිබේ. මෙහි අවසන් ඉලක්කය රාජ්‍ය ව්‍යාපාර ආයතනවල කාර්ය සාධනය ඉහළ නැංවීම බව කියැවේ. රජයට ව්‍යාපාර කළ නොහැකි යැයි මතයක් තිබුණ ද මේ වැඩසටහන මගින් එම මතය අනාථ කළ හැකි ය.

මෙලෙස ගිවිසුම් අස්සන් කළ ආයතන වන්නේ වැවිලි සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, සතොස ආයතනය, රාජ්‍ය දැව සංස්ථාව, ඉංජිනේරු උපදේශන කාර්යාංශය, කුරුණෑගල වැවිලි සමාගම, ඖෂධ නීතිගත සංස්ථාව, මිල්කෝ ආයතනය, පශු සම්පත් මණ්ඩලය හා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යන ආයතනයන්ය. මේ ආයතන දෙස බලනවිට පෙනී යන්නේ ඒවා මහජනයාට අත්‍යවශ්‍ය සේවා සපයන ව්‍යාපාර බැවින් පවත්වාගැනීම අත්‍යවශ්‍ය බව ය. මීට පෙර මෙබඳු අත්‍යවශ්‍ය ආයතන පහක් සමඟ ද සාමුහික අභිලාස ගිවිසුම් අස්සන් කර තිබේ. විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ජල සම්පාදන මණ්ඩලය හා වරාය අධිකාරිය ඊට අයත් ය.

පාඩු ලබන රාජ්‍ය - ආයතන ගොඩනැංවීම සඳහා මීට පෙර ද වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක විය. පෞද්ගලිකකරණය, ජනතාකරණය හා ආයතනවල ඉහළ කළමනාකාරීත්වය වෙනත් ආයතන වෙත පැවරීම ද ඒ අතරින් ප්‍රධාන වෙයි. එහෙත් එක වැඩසටහනක් හෝ මුළුළුමනින් ම සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත. සේවක විරෝධය නිසා ඇතැම් වැඩසටහන් නවතා දමන්නට සිදු විය. කළමනාකාරීත්වයේ දුර්වලතා නිසා තවත් ආයතන වසා දමන්නට සිදුවිය. වේයන්ගොඩ පෙහෙකම්හල, පූගොඩ පෙහෙකම්හල ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. සාමුහික අභිලාස වැඩසටහන ඉහත වැඩසටහන්වලට වඩා වෙනස් ය. එහිදී සිදුවන්නේ සාමුහිකව ආයතනය ගොඩනැඟීම ය. ඒ අනුව සේවක විරෝධතා ඇතිවීමට හේතුවක් නැත.

රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට ඇද වැටෙන්නේ හේතු ගණනාවක් නිසා ය. එයින් කතාබහට ලක්වන ජනප්‍රිය සාධකය වන්නේ කළමනාකරණයේ දුර්වලතා ය. එහෙත් ආයතනයක් ඇද වැටීමට බලපාන තවත් සාධක ගණනාවක් තිබේ. ආයතන දේශපාලනීකරණය වීම, සේවක කාර්යක්ෂමතාව අඩුවීම, ආයතනය තුළ දූෂණය හා නාස්තිය වැඩිවීම, වාර්ෂික ඉලක්ක සම්පූර්ණ නොකිරීම, විගණනය නිසි ලෙසින් සිදු නොවීම එම හේතු - සාධක අතර ප්‍රධාන වෙයි. මේවා වැළැක්වීම සඳහා සාමුහික ප්‍රයත්නයක් ක්‍රියාත්මක වීම හැම අතකින්ම වැදගත් ය. එවිට හැම සේවකයකුටම වගකීමක් පැවරෙන අතර ඔවුන් පෙරළා ආයතනයේ සුබ - සිද්ධිය ගැන කල්පනා කරන්නට ‍පෙලඹෙනු ඇත.

ඇතැම් රාජ්‍ය ආයතනවල සෑම සේවකයකුට ම වගකීම් පැවරී නැත. රාජකාරී පොත අස්සන් කොට පැය අටක් රස්තියාදු ගහන රාජ්‍ය සේවකයෝ ඕනෑතරම් සිටිති. සමහර ආයතන තුළ සේවක අතිරික්තයක් පවතී. තව ආයතනවල සේවකයෝ වෙනත් ආයතනවලට අනුයුක්ත වී සේවය කරති. එහෙත් වැටුප් හා දීමනා ලබාදිය යුත්තේ පළමු ආයතනය යි. මෙබඳු අවස්ථාවකදී අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයක් නැති බවද පෙනීයයි. අධීක්ෂණයේ දුර්වලතාව රාජ්‍ය ව්‍යාපාර දුර්වලවීමට බලපාන තවත් හේතුවකි. වාර්ෂිකව මෙන් ම මාසිකවද ප්‍රගතිය සමාලෝචනය කරන ක්‍රමවේදයක් පෞද්ගලික අංශය ක්‍රියාත්මක කළ ද, රාජ්‍ය අංශය තුළ එවැන්නක් දකින්නට නැත. සාමුහික අභිලාස වැඩසටහන ඔස්සේ එය ඇති කළ හැකි ය.

රටක ආයතන හොඳින් පවත්වාගැනීම සඳහා රජයේ ආර්ථික ප්‍රතිපත්ති ද බෙහෙවින් බලපායි. සරල විග්‍රහයකට ගියහොත් රටක ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් පවතී. එනම්; කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය හා සේවා අංශය වශයෙන් ය. මේ අංශවල දායකත්වය සමතුලිත කරගැනීම වඩාත් වැදගත් හා කාලීන ක්‍රමෝපාය වෙයි. මෑතක සිට අපේ ආර්ථිකය සේවා අංශයට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනෙයි. එයින් කෘෂිකාර්මික හා කාර්මික අංශ දුර්වලවීමට ඉඩ ඇති බව ප්‍රතිපත්ති සම්පාදකයන් වටහාගත යුතුය. නිෂ්පාදන සහිත රාජ්‍ය ව්‍යාපාර කෙරෙහි රජයේ වැඩි අවධානය යොමු විය යුතුව තිබේ. සාමුහික අභිලාස වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් රාජ්‍ය ව්‍යාපාර ආයතන බේරාගෙන රටේ ආර්ථිකයද ඉහළ නැංවිය හැකි බව කිව යුතුය.

 

නව අදහස දක්වන්න