මෙන්ඩිස්-මැතිව්ස්ට ලකුණු අතරට එන්න ‘සංගා’ගෙන් උපදෙසක් | දිනමිණ

මෙන්ඩිස්-මැතිව්ස්ට ලකුණු අතරට එන්න ‘සංගා’ගෙන් උපදෙසක්

අවසන් වරට සහභාගිවුණු තරග 2 ටම අයහපත් කාලගුණය හරස්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිලට ඉදිරියේදී සහභාගිවීමට නියමිත සියළුම තරග ඉතාමත් තීරණාත්මක මෙන්ම අසීරු සටනක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරගය ලබන සෙනසුරාදා (15 දා) ඔස්ට්‍රේලියානු පිල සමඟ ලන්ඩන් ඕවල් පිටියේදී සහභාගිවීමට නියමිතව තිබේ.

මෙතෙක් සහභාගිවුණු තරග අතුරින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවත් නායක දිමුත් කරුණාරත්න හැර පිතිකරුවන් යැයි සම්මත කිසිවෙක් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වී සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබෙන දැවැන්තම අර්බුදය බවට පත්ව තිබේ. ඉන් වැඩිම අවධානයක් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් වෙත යොමු වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයකු ලෙසින්ද කටයුතු කරනු ලබන කුමාර් සංගක්කාර අදහස් දක්වමින් පවසා ඇත්තේ මොවුන් දෙදෙනා පිතිහරඹයේ යෙදෙන අවස්ථාවේදී මුහුණ දෙනු ලබන පළමු පන්දු 12 ඉතාමත් තීරණාත්මක පන්දු වන බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටින සංගක්කාර ඒ පන්දු 12 දී ආරක්ෂාවීමට මැතිව්ස් සහ මෙන්ඩිස් දෙපළ සමත් වුවහොත් ලකුණු පිතිකරුවන් ලෙසින් ලකුණු අතරට පැමිණීම එතරම් ගැටළුවක් නොවන බවයි.

“මොවුන් පන්දුවට පහර දීමට පැමිණීමේදි මම දැක්ක දෙයක් තමයි ඔවුන්ගේ බොඩි ලැංන්ග්වේජ් එක (පිතිකරණයට අනුගත වීම යන අදහස) යම් තරමක අඩු බවක් තියෙනවා කියලා. ඒක මොවුන් වහාම වෙනස් කර ගත යුතුයි. තාක්ෂනය අතින් ලොකු වෙනසක් කළ යුතුයි කියලා මම හිතන්නේ නෑ. වෙනසක් කරන්න දැන් වෙලාවකුත් නැහැ”.

“මෙන්ඩිස් සහ මැතිව්ස්ගේ අන්තිම තරග කීපය බැලුවොත් මුල්ම පන්දු දොළහෙදි තමයි ඔවුන් දැවී යන්නේ. ඒ පන්දු ප්‍රමාණයේදී කඩුල්ල ආරක්ෂා කරගෙන තණතීරුව සහ තරගයේ ස්වභාවය හඳුනා ගැනීම තමයි ඔවුන් පළමුවෙන්ම කළ යුත්තේ. ඒ ඕවර දෙකේදී දැවී යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔවුන්ට ඉදිරි පිතිකරණය හොඳින් කරගෙන යන්න හැකියාව තියෙනවා. පුහුණු තරග 2 දිහා අවධානය යොමු කළාම ඔවුන් ඒ තරගවලදී හොඳින් ක්‍රීඩා කළා” යැයි සංගක්කාර විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ.

මෙතෙක් පැවැති තරග 2 දී කුසල් මෙන්ඩිස් ලකුණු 0 සහ 2 කටද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබාද දැවී ගොස් තිබේ. මේ අතර කණ්ඩායම පිළිබඳවද අදහස් දක්වා ඇති හෙතෙම මෙකී දුර්වලතා මඟ හරවා ගනිමින් පන්දුවාර 50 ම ක්‍රීඩා කිරීමට සමත් වන්නේ නම් තරග ජයග්‍රහණයක් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බව පවසයි.

“මේ වගේ තරගාවලියකදී අඩුම ගානේ පිතිකරුවන් ලකුණු 280 ක් වත් ගහන්න ඕන. එහෙම වුණොත් පන්දු යවන්නන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා පිතිකරුවන් ඒ වගකීම භාර ගත යුතුයි. ඇෆ්ගනිස්තාන් තරගය බැලුවොත් ඒ තරගය අපිට දිනලා දුන්නේ පන්දු යවන්නෝ. නමුත් ඒ තරගයෙදීත් අපිට ලේසියෙන්ම දිනන්න තිබුණු එකක් වුණත් අතර මඟදී පිතිකරුවන් කඩා වැටුණා” යැයිද සංගක්කාර පවසයි.


නව අදහස දක්වන්න