දැල්වූ පහන් ඇයි දැල්වී තියෙන්නේ? | දිනමිණ

දැල්වූ පහන් ඇයි දැල්වී තියෙන්නේ?

වීදි පහන්, ජාතික ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය

රාත්‍රී කාලයේදී හෝ අන්ධකාර අවස්ථාවන්හිදී මාර්ග භාවිත කරන්නන්ගේ මෙන්ම දේපළ ආරක්ෂාව පිණිස ආලෝකනය අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය, අඩිපාර, මං මාවත්, වීථි, මහා මාර්ග සහ අධිවේගී මහා මාර්ගවලින් සමන්විත වන අතර අධිවේගී මහා මාර්ග සහ යම් ප්‍රදේශයක මහා මාර්ග ආලෝකනය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කරනු ලැබූවද වැඩි ප්‍රමාණයක මාර්ග ආලෝකන පහන් නඩත්තු කරනු ලබනුයේ පළාත් පාලන ආයතන විසිනි.

රාත්‍රියේ සුරක්ෂිතභාවය, දේපළ සහ පදිකයන්ගේ ආරක්ෂාව, අලංකරණය, රිය අනතුරු වළක්වා ගැනීම ආර්ථික සංවර්ධනයේදී නිෂ්පාදන සහ සේවා සපයන්නන්ගේ සේවා කාලය වැඩි කිරීම සහ සංවේදී සහ විචල්‍ය පරිසර කලාප ආශ්‍රිතව යහපත් ආ‍ලෝකන මට්ටමක් සහ සුදුසු වර්ණ සහිත පහන් භාවිත කිරීම විධිමත් මාර්ග ආලෝකන පද්ධතියකින් ඉටුවන මූලික කරුණු වේ.

භාවිත කළ හැකි විදුලි ඒකක ප්‍රමාණය

විදුලි බල ගාස්තු අයකර ගැනීමේ අයක්‍රම අනුව ගෘහස්ථ සහ පොදු කාර්ය 1.1 සහ පොදු කාර්යය 1.2 කාණ්ඩ යටතේ විදුලි පාරිභෝගිකයන් භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණයෙන් නාගරික ප්‍රදේශවල 2%ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල 3% ප්‍රතිශතයක් ද මාර්ග ආලෝකන පහන් සඳහා වෙන් කර ඇත. එමෙන්ම පළාත් පාලන ආයතනවලට හැකියාවක් ඇත්නම් විදුලි බල මණ්ඩලයට හෝ සමාගම මඟින් නඩත්තු ගාස්තු ගෙවා එම ආයතනවල ප්‍රදේශවල මාර්ග ආලෝකන පහන් නඩත්තු කිරීම අදාළ පළාත් පාලන ආයතන ලවා ඉටු කරගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල මාර්ග ආලෝකන පහන් නඩත්තු කිරීම ඔවුන් මඟින් ද සිදු කරගනු ලබයි.

මාර්ග ආලෝකන පහන් සවිකර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි (පුද්) සමාගම සහ බෙදාහැරීම් මාර්ගවල ඇති කණුවල වන අතර එම පහන්වල අයිතිය ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයට ය.

ශ්‍රී ලංකාවේ දැනට භාවිත කරනු ලබන මාර්ග ආලෝකන පහන් සංඛ්‍යාව පිළිබඳ සත්‍ය තොරතුරු සහ දත්ත ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලි (පුද්) සමාගම සතුව තිබිය යුතු වූවත් එකී තොරතුරු ඔවුන් සතුව නොමැති බව අධ්‍යනයන්හිදී හෙළි විය. එමෙන්ම පළාත් පාලන ආයතන සතු වත්කමක් වන මාර්ග ආලෝකන පහන් පිළිබඳ යාවත්කාලීන කරන ලද දත්ත ඔවුන් සතුව ද නිසි ලෙස නොමැති බැව් පැහැදිලි කරුණකි.

එබැවින් නොපමාව ශ්‍රී ලංකාවේ දැනට භාවිත මාර්ග ආලෝකන පහන් සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දත්ත නිශ්චිත කාල සීමාවකදී රැස් කිරීම අදාළ පාර්ශ්වවල වගකීමකි. මේ සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මැදිහත්වීම ද ඉතා වැදගත් වේ. නිවැරදි දත්ත සහ තොරතුරු නොමැතිව ප්‍රතිපත්ති සහ සැලසුම් කිරීම ඵලදායී නොවන අතර සාවද්‍ය පුරෝකථනයන් තුළින් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ද නොහැකි වේ.

බල්බ වර්ග සහ වර්ණ

වොට් 20 CFL සහ වොට් 36 ප්‍රතිදීප්ත පියරුසි පහන් (Florescent Tube) ලක්ෂ 05කට ආසන්න සංඛ්‍යාවක්, වොට් 125 රසදිය වාෂ්ප පහන් (Mercury Vapour) ලක්ෂ 01 කට ආසන්න ප්‍රමාණයක්, වොට් 110 සහ 150 සෝඩියම් වාෂ්ප පහන් 20,000ක ආසන්න ප්‍රමාණයක්, වොට් 250 සෝඩියම් වාෂ්ප 1 පහන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් මාර්ග ආලෝකනය සඳහා භාවිත කරනු ලබයි. එයට අමතරව වොට් 12 සිට වොට් 150ක් වූ ක්ෂමතාවයෙන් යුත් LED පහන් 130,000 ආසන්න ප්‍රමාණයක්ද මාර්ග ආලෝකනය සඳහා භාවිත කර ඇත. මේ වන විට ශ්‍රී ලංකාව තුළ මාර්ග ආලෝකන පහන් ලක්ෂ 8 සහ 9ක් අතර ප්‍රමාණක් ක්‍රියාත්මකය. වීථි ආශ්‍රිතව දිවා එළිය (Day light) වර්ණ සුදුසු වූවද මාර්ග, මංතීරු, මාවත්, මහා මාර්ග සහ අධිවේගී මහා මාර්ග සඳහා යෝග්‍ය පහන්වල වර්ණය කහ පැහැති (WARM White) වීම නිර්දේශිතය.

කහ වර්ණ සහිත බල්බ රාත්‍රී කාලයේ සෙවණැලි ඇතිවීම වැළැක්වීම සහ කෘමීන් ඇතුළු නිශාචර සත්වයන්ගේ පැවැත්මටද යෝග්‍ය වන අතර වගාබිම් සහ විචල්‍ය කාලගුණික තත්ත්වය සහිත ප්‍රදේශවල මාර්ග ආලෝකනය සඳහා කහ පැහැති වර්ණය (WARM White) සහිත පහන් භාවිත කිරීම පරිසර හිතකාමී මෙන්ම සතුන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීමකි. ඒ අනුව ඉදිරි අවස්ථාවන් දී පවත්නා පහන් මාරු කිරීමේදී ඉහත වර්ණ සහිත පහන් භාවිත කිරීම ඉතා වැදගත් වේ.

බලශක්ති කාර්යක්ෂම LED පහන් භාවිත කරනු ලැබීමෙන් දැනට භාවිතා කරන පහනකට වැයවන විදුලි ශක්ති ප්‍රමාණය 50% - 60% ආසන්න ප්‍රමාණයකින් අඩුවන අතර එසේ ඉතිරිවන විදුලි ඒකක ප්‍රමාණය තම බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය ස්ථානවල ආලෝකනයට යොදා ගත හැකිය. එමෙන්ම CFL ප්ලොරසන්ට් ටියුබ්. M. V බල්බ සඳහා නිෂ්පාදකයා වගකීම් කාල සීමාවන් ලබා නොදෙන බැවින් වගකීම් කාලයක් සහිත LED භාවිත කිරීමෙන් නඩත්තු වියදම් ද අවම කරගත හැකි වේ. එමෙන්ම පසු භාවිතයෙන් පරිසරයට එකතු වන බැර ලෝභ ප්‍රමාණයද අඩුකර ගත හැකිය.

ආලෝක ප්‍රභවයකින් නිකුත් කරනු ලබන ආලෝක ප්‍රතිදාන ප්‍රමාණය ලූමන (Lumen)වලින්ද එම ප්‍රතිදාන මට්ටමින් ආලෝකනය කරනු ලබන වර්ග මීටර් 01ක ප්‍රදේශයක පවතින ආලෝක මට්ටම (LUX) ලක්ස් ඒකකයන් මඟින්ද ආලෝක ඉංජිනේරු විද්‍යාවේදී මනිනු ලැබේ. මාර්ගවල පළල සිටුවා ඇති පහන් කණුවේ උස සහ කණු අතර පරතරය ගමන් කරනු ලබන වාහනවල වේගය, පදිකයන්ගේ සහ සතුන්ගේ ප්‍රමාණයන් අනුව එක් එක් මාර්ග මාර්ග සඳහා නිර්දේශිත ආලෝක මට්ටම්ද වෙනස් වේ.

ජනාකීර්ණ ප්‍රදේශවල ඇති මාර්ග ආලෝකන පහන් සඳහා සෑම කණුවම ලූමන 25,000ක ආලෝක ප්‍රතිදානයෙන්යුතු WARM White - වොට් 250 LED පහන් සවිකුරු ද ( Cobra head Type) 01 බැගින් ද නාගරික ප්‍රදේශවල, මහා මාර්ගවල විදුලි බෙදා හැරීම් කණුවල සවිකර ඇති පහන් සඳහා සෑම කණුවකම වොට් ලූමන 15,000ක ආලෝක ප්‍රතිදානයෙන් යුතු (LED WARM White) වොට් 150 LED පහන් සවිකරුවක් බැගින් ද (පදික මාරු ස්ථානවලටද අදාළ වේ. ප්‍රධාන මාර්ග ආශ්‍රිතව සහ නාගරික ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශවල විදුලිය බෙදා හැරීම් කණුවල සවිකර ඇති පහන් සඳහා LED වොට් 50 සවිකුරු ද (අවම ලූමන ප්‍රතිදානය 5,000ක්) භාවිතා කළ හැකි අතර සියලුම සවිකුර IP65 ආරක්ෂක කාණ්ඩයේ ඒවා විය යුතුය.

ජනාකීර්ණ නේවාසික ස්ථානවල සෑම විදුලි කණුවකටම සහ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයේ කණුවක් හැර කණුවකටම අවම ලූමන 2,000ක ආලෝක ප්‍රතිදානයෙන් යුත් වොට් 20 – E27LED බල්බ ද අතුරු පාරවල් සහ මාවත් සඳහා අවම ලූමන 1,200ක ආලෝක ප්‍රතිදානයෙන් යුතු LED 12W E27 WARM White බල්බ ද භාවිත කළ හැකිය. ගිනිකණවැටීම මෙන්ම සෙවණැලි ඇතිවීම තුළින් මාර්ග භාවිත කරනු ලබන්නේ අනතුරට පත්විය හැකි බැවින් නිර්දේශිත නියමිත ප්‍රමාණය ආලෝක මට්ටම පවත්වාගෙන යාමට කටයුතු කිරීම පහන් පද්ධතිය ක්‍රියාත්මක කරන්නන්ගේ අනිවාර්ය වගකීමකි.

භාවිත කළ හැකි පහන් සංඛ්‍යාව

මාර්ග ආ‍ලෝකන සඳහා භාවිත කළ හැකි අනුමත විදුලි ඒකක ප්‍රමාණය දැනගැනීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමෙන් සිදුකළ යුතු වන්නේ තම ප්‍රදේශයේ සවිකර ඇති විදුලි ට්‍රාන්ස්පෝමර පිහිටි ස්ථානයන් සංඛ්‍යාව ඉදිරිපත් කර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් තම බල ප්‍රදේශයට නියමිත විදුලි ඒකක ප්‍රමාණය ලබා ගත හැක. ඒ අනුව අදාළ සීමාව තුළ අත්‍යවශ්‍ය පහන් නියමයානුකූලව ස්ථාපනයට කටයුතු කර ගත හැකිය.

ගෘහස්ථ (Domestic) සහ පොදු කාර්යය GP 1.1 සහ GP 1.2 සහ අයක්‍රම යටතේ අලෙවි කරන ලද විදුලි ඒකක ප්‍රමාණය නාගරික ප්‍රදේශවලදී මාර්ග ආලෝකන පහන් සඳහා 2% ප්‍රමාණයක්ද අනෙකුත් ප්‍රදේශ සහ ගාමීය ප්‍රදේශවලදී 3%ක ප්‍රමාණයක්ද වෙන් කර ඇත. ඒ අනුව දැනට සවිකර ඇති පහන් සංඛ්‍යාව සඳහා වැයවන විදුලි ශක්ති ප්‍රමාණය (වොට් පැය ගණන) ගණනය කර අතිරික්තය සඳහා අත්‍යවශ්‍ය ස්ථානවලට පහන් සවි කරවා ගැනීම සිදුකරගත හැකිය. පවත්නා පහන් වෙනුවට බලශක්ති කාර්යක්ෂමතා පහන් CFL, F/L M.V වෙනුවට අවම වසර 02ක්වත් වගකීම් කාලයක් සහිත පිළිගත් LED නිෂ්පාදන භාවිත කිරීමෙන් භාවිත ඒකක සංඛ්‍යාව 50%කට 60% ට අඩුකර ගත හැකි අතර අනුමත සීමාවේ සිටින පළාත් පාලන ආයතනයකට අත්‍යවශ්‍ය ස්ථානවල පහන් සවිකර ගැනීමටද පොදුවේ වගකීම් කාල සීමාවේ පවතින පහන් භාවිත කිරීමෙන් නඩත්තු වියදම් මෙන්ම බලශක්තිය ද ඉතිරි කර ගත හැකිය.

මාර්ග ආලෝකන පහන් දැල්වීම සහ නිවීම

විදුලිය සැපයීම සිදුකරන ලද පළාත් පාලන ආයතනවල මෙන් නාගරික ප්‍රදේශවලදී මාර්ග ආලෝකන පාලක රැහැන්ද සමඟ බෙදා හැරීම් මාර්ග යොදා ඇති විට පොදු ස්විචයක් මඟින් කාණ්ඩයක් ලෙස පහන් දැල්වීම සහ නිවීම සිදු කළ හැකිය. පළාත් පාලන ආයතනවල සමහරු විසින් පහන් දැල්වීම සහ නිවීම වීථි පහන් දල්වන්නන් විසින් සිදුකරගනු ලබයි. එහෙත් තනි වහරු (Switch) මඟින් පහන් ක්‍රියාත්මක කිරීමේදී නියමිත වේලාවන් නොමැති අතර දිවා කාලයේදී දැල්වෙන මාර්ග ආලෝකන පහන් මහා මාර්ගවලදී දැකගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ මාර්ගවල පහන් දැල්වීම සහ නිවීම තීරණය කරනු ලබන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් වන අතර දෛනික මාර්ග ආලෝක පහන් ක්‍රියාත්මක කිරීම ඒ අනුව සිදුකළ යුතුය. (අදාළ වගුව බලන්න) - ඇමුණුම 01 සහ 02

අවශ්‍ය නම් එයට පෙර විනාඩි 15ක් සහ නිවීම විනාඩි 15කින් සිදු කරගත හැකිය. එම බලශක්ති ඉතිරිකර ගැනීම තිරසාර සංවර්ධනයට ඉමහත් දායකත්වයකි. නිවාස නොමැති ස්ථානවලදී පහන් ක්‍රියාත්මක කිරීම ආලෝක සංවේදී වහරු (Photo Electric Contl Switch) යොදා ගැනීම අනිවාර්යවන අතර එමනිසා පහන් නියමිත පරිදි ක්‍රියාත්මක වීම සිදුවේ.

පළාත් පාලන ආයතනවලට ආදායම් මාර්ග ලැබීමේදී ප්‍රමුඛ වනුයේ වරිපනම් බදු ය. ලංකාව බොහෝ පළාත් පාලන ආයතනවල වරිපනම් බදු එකතු කිරීමක් සිදු නොවේ. ඒ අනුව මාර්ග ආලෝකන පහන් නඩත්තුව සඳහා විදුලි බල මණ්ඩලය මඟින් නඩත්තු ගාස්තු නිසි පරිදි ගෙවීමක් ද සිදු නොවේ. එමෙන්ම අදාළ උපාංග මිලට ගැනීමේදී නියමිත පිරිවිතර සහ ප්‍රමිතිය පොදු එකඟතාවයට අනුව සිදු නොකරන බැවින් සම්පත් අපතේ යාම සිදුවන අතර එමඟින් නාස්තිය සහ දූෂණයද සිදුවේ. පොදු පිරිවිතර සහ ප්‍රමිතීන්ට අනුව ද පාර දෘශ්‍ය ප්‍රසම්පාදනය අනුව කටයුතු කිරීම එබැවින් අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත.

බල්බයට ද ආයු කාලයක් ඇත. සූත්‍රිකා (GLS) පහනක් පැය 100ද, CFL බල්බයක් පැය 8000 – 10000ක්ද ප්ලොරසන් ටියුබ් බල්බයක් පැය 7,500ක්ද LED බල්බයක් පැය 1500000– 20000ක ආයුකාලයක් ඇති අතර අනවශ්‍ය වේලාවන් දී දැල්වෙන බල්බයකින් වැයවන බලශක්තියට අමතරව බල්බයේ ආයුකාලය ද අඩුවන බව අප අවබෝධ කරගත යුතුය.

ශ්‍රී ලංකාවේ දැනට සවිකර ඇති පහන් ක්‍රියාත්මක කිරීමේදී (පැය 12ක කාලසීමාවක් විදුලි ඒකක) ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් වැය වන අතර එම ශක්තිය ලබා ගැනීම අවම වශයෙන් මෙගාවොට් 5ක බලශක්තියක් අවශ්‍ය වේ. (පැයකට ඩීසල් ලීටර 1,000ක් අවශ්‍ය වේ. මෙගා වොට් 01ක බලාගාරයක් ඩීසල් මඟින් ක්‍රියාත්මක කරන විට ආසන්න වශයෙන් පැයකට ලීටර 200කට ආසන්න ඉන්ධන වැයවන අතර එමඟින් නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් වායුව ඇතුළු අහිතකර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම පර්යේෂකයන් නොපමාව සිදුකළ යුතුවේ. ජනන සම්ප්‍රේෂණ බෙදාහැරීම් මෙන්ම පරිභෝජනයේද සිදුවන හානි නිසා භාවිතයේදී විදුලි ඒකක 01 ක් ඉතිරි කරන විට ජනනය කළ යුතු විදුලි ඒකක 1. 4 (1.4Kwh) රටට ඉතිරි කර දිය හැකිය. එබැවින් අප රටේ පවත්නා තත්ත්වය අනුව වැයවන විදේශ විනිමය සහ සිදුවන පරිසර හානි සලකා බැලීමේදී බලශක්ති කාර්යක්ෂම පහන් ඇතුළු උපකරණ භාවිතය ද සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම් හානි අවම කිරීමට ප්‍රජා සහ අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීම ජාතික අවශ්‍යතාවයකි. ඒ අනුව අත්‍යවශ්‍ය ස්ථානවලදී නියමිත වේලාවටම පමණක් මාර්ග ආලෝකන පහන් භාවිත කිරීම සෑම පුරවැසියෙකුගේ කාලීන වගකීම සහ ජාතික යුතුකම විය යුතුය.

පර්යේෂණ සහ නියාමන ආයතනවල වගකීම

යාවත්කාලීන වීම නව තාක්ෂණික ප්‍රවණතා ප්‍රචලිත කිරීම මෙන්ම දේශීය නිෂ්පාදකයන් ව්‍යවසායකයන් කිරීම පර්යේෂණ සහ නියාමන ආයතනවල ප්‍රමුඛ වගකීම වන අතර රාජ්‍ය නිලධාරියා මෙන් ම පුරවැසියන් ද තම වගකීම් සහ වගවීම් අවබෝධ කරගෙන අප්‍රමාදව කටයුතු කළ යුතුය. ප්‍රමිතීන් පිළිබඳ ද ඉහත සාධකය පොදු වේ. නියාමන ආයතන ද ප්‍රශස්ත සහ ගුණාත්මක ලෙස පද්ධතිය පවත්වා ගෙන යාමට යාවත්කාලීනව කටයුතු කළ යුතුය.

පවත්නා බලශක්ති අර්බුදය හේතුවෙන් නිරන්තරයෙන් කාර්යක්ෂම නිෂ්පාදන පිළිබඳ නිරන්තර පරීක්ෂාවන් සහ නිෂ්පාදනයන් සමාජයට එක් වේ. එහෙත් තාක්ෂණ ප්‍රවණතාව අනුව පෙර නිෂ්පාදනවලින් වන පරිසර හානිය ද ඒ සමඟම හෙළිවන අතර අප ඒ සමගාමීව කටයුතු කළ යුතුය. උදා :CFL බල්බ පසුගිය දශක 03ක ජනප්‍රිය වූවද පසු භාවිතයේදී එකතුවන බැර ලෝහ හේතුවෙන් මේ වන විට ඒ සඳහා LED බල්බ ආදේශ වී ඇත. පොසිල ඉන්ධන දහනය අවම කිරීම ද පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීමද පරිසර සංරක්ෂණයේදී බලශක්ති ක්ෂේත්‍ර මඟින් සිදු කළහැකි වීම ප්‍රමුඛ දායකත්වයයි.

දෛනිකව ජිවත්වීම සඳහා ආදායම් උත්පාදනය පිණිස ජීවිකාවේ යෙදෙන ධීවර, ගොවි, කම්කරු මෙන්ම සුළු පරිමාණ වෙළඳුන් සහ පදික වෙළඳාමේ නියුක්ත වූවන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේදී රාත්‍රී කාලයේ ආලෝකනය නොමැති වීම හෝ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නිෂ්පාදන අපතේ දැමීමට සිදුවේ. නැතහොත් නියමිත මිලකට අලෙවි කර ගැනීමට අපහසු වේ.

එබැවින් එවැනි ස්ථානවලට ප්‍රමාණවත් මාර්ග ආලෝකන පහන් සවිකර තිබේ නම් එම නිෂ්පාදන අපතේ යාම අවම වන අතර රාත්‍රී ක්‍රියාකාරකම් සඳහා එමගින් වැඩි කාල සීමාවන් ලැබේ.

නිෂ්පාදන අපතේ යාම අවම කිරීම තුළින් නිෂ්පාදනයේදී භාවිත කරන පොහොර, කෘමිනාශක, ඉන්ධන, ප්‍රවාහන සහ ශ්‍රමය ඉතිරි කර ගතහැකි අතර කාබන් විමෝචනය ද අවම කර ගත හැක. එමෙන්ම පුද්ගල සංතෘෂ්ටිය ඇතිවීම තුළ සමාජීය පීඩාකාරී තත්ත්වද අවම වේ.

පොදු ගොඩනැගිලි ආශ්‍රිත ස්ථාන රෝහල්, පාසල්, රජයේ ගොඩනැගිලි, පූජනීය ස්ථාන, බස් නැවතුම්පොළවල, සති සහ දින පොළ, දුම්රිය හරස් මාර්ග, මං සන්ධි, තොටුපල සහ ධීවර වරායයන්, පොදු නාන ස්ථානවල අලින් සහ අනෙකුත් වනසතුන් පාර හරහා ගමන් කරන ස්ථාන (අලිමංකඩ) පොදු ජල කරාම අසල, පදික මාරු, පාලම් සහ බෝක්කු යන ස්ථාන සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු වේ.

පොදු ප්‍රදේශ ආලෝකනය

දැනට භාවිත මාර්ග ආලෝකන පහන් ප්‍රමාණය 60%ට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ ඇති අතර අනෙකුත් පළාත් 08 මෙන්ම බස්නාහිර පළාතේද ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම අත්‍යවශ්‍ය ස්ථාන ද රාත්‍රියේදී අඳුරේ පවතී. අනුමත සීමාවන් තුළ බලශක්ති කාර්යක්ෂම පහන් භාවිතය මඟින් විධිමත් මාර්ග ආලෝකන පහන් පද්ධතියක් හ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි අතර මාවත් සහ මහාමාර්ග ආශ්‍රිත විදුලි රැහැන් මාර්ග දෙපස නියමිත පරිදි මංවර එළිකිරීමෙන්ද අවශ්‍ය ආරක්ෂාව පළාත් පාලන ආයතනවලට මෙන්ම පුරවැසියන්ටද සිදුකළ හැක. ඒ අතරේදී සුහුරු තාක්ෂණයද (SMART TECHNOLOGY) මාර්ග ආ‍ලෝකනයේ දී සුදුසු පරිදි භාවිත කිරීමෙන් ජාතික ආරක්ෂාවට වැඩි දායකත්වයක් ලැබෙනු ඇත.

එළඹ ඇති සමාජීය ආර්ථික පරිසර ගැටලු සඳහා තම දායකත්වය ලබාදීම මාර්ග ආලෝකන පහන් පද්ධති ස්ථාපනයන් සහ නඩත්තු කරන පළාත් පාලන ආයතන සමඟ ක්‍රියාත්මක කිරීම සිදු කරන ප්‍රජාවටද බලශක්ති සේවා සැපයුම්කරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ද එක්ව කටයුතු කිරීමෙන් මෙම වැඩසටහනේ අරමුණු ඉටුකර ගත හැක.

පී.යූ.පී. කුමාරද සිල්වා
විදුලි අධිකාරී පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය,  කොටුව - ගාල්ල
[email protected] 


නව අදහස දක්වන්න