අවිනිශ්චිත ක්‍රිකට් පිළිබඳ ස්ටීව් වෝගෙන් ප්‍රකාශයක් | දිනමිණ

අවිනිශ්චිත ක්‍රිකට් පිළිබඳ ස්ටීව් වෝගෙන් ප්‍රකාශයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳව බොහෝ දෙනා මේ වන විටත් අනාවැකි පළ කර තිබේ. එහෙත් ඒ කිසිම අනාවැකියක අවසන් කණ්ඩායමට 4 ට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනු ඇතැයි කී පිරිස අතර සිටින්නේ නවසීලන්ත ජාතික ස්කොට් ස්ටයිරීස් පමණි. ඇෆ්ගනිස්තාන පිලද ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා හෑල්ලුවට ලක් වන ආකාරයේ අදහස් පළ තිබුණද ඒ පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රේෂ්ඨ පිතිකරුවකු වන බ්‍රයන් ලාරා ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන අයුරින් අදහස් පළ කිරීමද සැබැවින්ම අගය කළ යුතුය.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දිනා ගනු ලබන කණ්ඩායම් පිළිබඳව හිටපු ඔස්ට්‍රේලියානු නායකයකු වන ස්ටීව් වෝද අදහස් දක්වා තිබෙන නමුත් ඔහුගේ කණ්ඩායම් අතරින්ද ශ්‍රී ලංකාව හැළී ගොස් තිබේ. ඇතැම් විට මෑත කාලයේදී දක්වන ලද දක්ෂතා පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙවර ලෝක කුසලාන දිනා ගනු ඇතැයි අනුමාන කළ හැකි කණ්ඩායමට අතරට ශ්‍රී ලංකාවද සිටිනු ඇති යැයි පැවසුවහොත් ඇතැම් විට ඔහු එය පවසා ඇත්තේ හොඳ සිහියෙන්ද යන්න කෙනෙකුට සිතුණද අසාධාරණ නොවේ.

වෝගේ අනාවැකියට අනුව අවසන් කණ්ඩායම් 4 ට තේරෙන කණ්ඩායම් 4 ක් නම් කොට නැතත් මෙවර තරගාවලිය කණ්ඩායම් 6 ක අතර ඉතා උද්වේගකර තරගාවලියක් වන බවට පවසා තිබේ. වෝගේ තක්සේරුවට අනුව වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව, සත්කාරක එංගලන්තය, ප්‍රබලම ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දියාව, හදිසියේම නැගිටි නවසීලන්තය, ක්‍රිස් ගේල් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේදී තියුණු තරගයක් ලබා දෙන කණ්ඩායම් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් මුහුණ දුන් පළමු තරග 3 ම පරාජයට පත්ව ඇති බැවින් වෝ පැවැසූ එක් කරුණක් මේ වන විටත් හිතලුවක් පමණක් බවට පත්ව තිබේ. ඉකුත්දා ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් ඉන්දියාව ජය ගැනීමත් සමඟ මාධ්‍ය වේත අදහස් දක්වා ඇති හිටපු ඔස්ට්‍රේලියානු නායකයා පවසා ඇත්තේ ඉන්දියාව හමුවේ පරාජය වුවද ඔස්ට්‍රේලියාව ලේසියෙන් පසු නොබසින කණ්ඩායමක් බවයි. කෙසේ වෙතත් ඔහු ඉන්දීය කණ්ඩායමේ දක්ෂතා පිළිබඳවද අගය කරමින් අදහස් දැක්වීමද විශේෂත්වයකි.

දවස් 50 කට ආසන්න කාලයක් පුරා දිවෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය හෙවත් අවසන් කණ්ඩායම් 4 අතරේ තරග වටය ආරම්භ වීමට තවත් දින 25 කට අධික කාලයක් ඉතිරිව තියේ. අනාගයත අද දකිමින් වෝ දක්වන ලද අදහස් වලින් දකුණු අප්‍රිකාව ආරම්භයේදීම හැළෙද්දී අවසානය වෙත්ම තව කණ්ඩායමක් කීයක් හැළෙනු ඇත්ද යන්න දැක බලා ගැනීමට තවත් කල් බලා සිටීමට සිදුවනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාව යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් බැවින් ඒ පිළිබඳ අනාවැකි පළ කිරීම නුසුදුසු ක්‍රියාවකි. මන්ද යත් අවිනිශ්චිත ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාවටද එම අනාවැකි පුස්සක් බවට පත් කරමින් අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීමට තවමත් අවශ්‍ය තරම් අවස්ථාව තිබෙන නිසාය.


නව අදහස දක්වන්න