විඩාබර... මාලිංග | දිනමිණ

විඩාබර... මාලිංග

අත්දැකීම් සහිත ක්‍රීඩකයන් කණ්ඩායම තුළ හිඟ වීම ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල මුහුණ දී සිටින දැවැන්තම අභියෝගය වේ. එම අඩුව යම් තරමකට දුරු කිරීමට හැකි ක්‍රීඩකයෙක් වෙත් නම් ඒ ලසිත් මාලිංගය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන රටවල් අතුරින් වැඩිම අත්දැකීමක් සහිත ක්‍රීඩකයන් අතළොස්ස අතරිමාලිංගට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඉකුත්දා අවසන් වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහ තරගයේ අවසන් පන්දු වාරය යොමු කරමින් අවසන් පන්දුවේදී නොතිබූ ජයක් වෙත මුම්බායි ඉන්ඩියන්ස් පිල රැගෙන යෑමට මාලිංගගේ පන්දු යැවීමට හැකි වීම හරහා මාලිංග ගේ දක්ෂතා පිළිබඳව බොහෝ දෙනා වැඩි බලාපොරොත්තු රඳවා ගත්හ. එබැවින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි බරක් මාලිංගගේ කර පිට වැටිණි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ජය වාර්තා කරමින්ද පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී එක් ප්‍රසාද ලකුණක්ද ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහ කණ්ඩායමට 4 ට යෑම සඳහා බලාපොරොත්තු තබා ගැනීමට බංග්ලාදේශය තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක විය. එබැවින් මාලිංගගේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවට තදින්ම දැනේ.

හදිසි තත්ත්වයක් මත මාලිංගට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවීම මේ තත්ත්වයට හේතු වී තිබේ. සිය බිරිඳගේ මෑණියන්ගේ හදිසි අභාවය එම තත්ත්වයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු 324ක් දවා ගෙන ඇති මාලිංග මේ වන විට 35 වැනි වියේ පසුවෙයි. මැදි වයසේ පසු වුවද මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පන්දු යවන්නන් අතර භයානකම පන්දු යවන්නකු ලෙස තවමත් හඳුන්වන මාලිංග හෙට (14) යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වීමට නියමිතව තිබෙන බව සඳහන්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති සුපිරි අන්තර් පළාත් තරගාවලියටද මාලිංග පැමිණියේ ඉන්දියාවේ සිටය. ඒ තරගයට පෙර දින රාත්‍රියේදීය. එවන් කැපවීමක් කරමින් මාලිංග තම කණ්ඩායම වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම සැබැවින්ම අගය කළ යුතුය.

එහෙත් මේ තරගාවලිය පැවැත්වෙන්නේ පැය එකහමාරක පමණ ගුවන් කාලයකින් ළඟාවිය හැකි දුරකින් නොවේය. ඒ සඳහා පැය 10 කට අධික කාලයක් ගත වන එංගලන්තයේය. ශ්‍රී ලංකාවේ මීළඟ ලෝක කුසලාන තරගය යෙදී ඇත්තේ ලබන 15 වැනිදා හෙවත් සෙනසුරාදාය. ඒ ප්‍රබල ඔස්ට්‍රේලියානු පිල සමඟය. පැවසෙන අන්දමට මාලිංග නැවත කණ්ඩායමට එකතු වන්නේ හෙට (14) ය. මාලිංග සතු ධෛර්යට අනුව පැය කීපයක විවේකයක් මාලිංගට ප්‍රමාණවත්ය. එහෙත් ඒ ගමන් විඩාවත් සමඟ සිය උපරිමය කණ්ඩායමට ලබාදිය හැකිද යන්න මෙහිදී පැන නැගෙන අනෙක් ගැටළුවයි. කෙසේ වෙතත් මේ සියල්ලටම පිළිතුර ඇත්තේ මාලිංග සහ කළමනාකාරීත්වය සතුවය. ක්‍රිකට් ජයග්‍රහණ පිපාසයකින් පෙළෙන ශ්‍රී ලාංකිකයන්ට නම් ඒ පිළිතුර කොයි වගේද යන්න දැන ගැනීමට නම් ඉවසුමක් නැතිය. එසේ නම් ඊළඟ තරගයට මාලිංග ක්‍රීඩා කරනවාද නැද්ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත. අපිට සිදුවන්නේ ඒ වෙනකල් ඉවසීමෙන් බලා සිටීමය.


නව අදහස දක්වන්න