පාකිස්තානය ලකුණු 41කින් පරදවා ඔස්ට්‍රේලියාව 2ට එයි | දිනමිණ

පාකිස්තානය ලකුණු 41කින් පරදවා ඔස්ට්‍රේලියාව 2ට එයි

පාකිස්තානය සමග ටවුන්ටන්හිදී ඊයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයෙන් ලකුණු 41ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

මේ ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 49කට දැවී ගියේ ලකුණු 307ක් රැස් කරමිනි. එම ඉලක්කය හඹාගිය පාකිස්තානයට ඕවර 45.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 266ක් පමණි.

පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට උත්සහ කළ ආරම්භක පිතිකරු ඉමාම් උල් හක්, බාබාර් අසාම් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 54ක් සහ මොහොමඩ් හෆීස් සමගින් තෙවැනි කඩුල්ල ලකුණු 80ක් එක් කළේය. මුළු ලකුණු 136දී ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙස හතරේ පහර 7ක් සමගින් පන්දු 75කින් ලකුණු 53ක් ලබාසිටි ඉමාම් පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් විය.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෆකාර් සමාන් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර වේගවත් පිහිහරඹයක් දියත් කිරීමට සැරසුණු බාබර් අසාම් හතරේ පහර 7ක් සමගින් පන්දු 28කින් ලකුණු 30ක් ලබාසිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේ මුළු ලකුණු 56දීය.

ලකුණු 146දී හෆීස්ගේ ඉනිම ලකුණු 46කට සීමා කිරීමට ඒරන් ෆින්ච්ට හැකිවූ අතර තවත් ලකුණක් තුළ සොයිබ් මලික් ලකුණු ලබා ගැනීමට පෙර යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට කමින්ස්ට හැකිවිය.

ආසිෆ් අලි (5) සහ හසන් අලි (32) 6 වැනි සහ 7වැනි කඩුලු ලෙස පිටියෙන් ඉවත් කිරීමට කේන් රිචඩ්සන් සමත්වීමෙන් පාකිස්තානය අසීරු තත්ත්වයකට පත්විය. හසන් දැවී යෑමට පෙර නායක සර්ෆ්‍රාස් අහමඩ් සමගින් 7 වැනි කඩුල්ල වේගවත් ලකුණු 40ක් එක් කළේ පන්දු 23කිනි. පන්දු 15කට මුහුණදුන් හසන් හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 32ක් රැස් කළේය.

අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක සර්ෆ්‍රාස් පාකිස්තානයට ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කළත් එක් ලකුණක් තුළ කඩුලු 2ක් දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත්වීමත් සමග එම බලාපොරොත්තු බිඳ වැටිණි. ඔහු, වහබ් රියාස් සමගින් 8 වැනි කඩුල්ලට ලකුණු 64ක් එක්කළ අතර 45 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් රියාස් දවාගත් ස්ටාක් සිවුවැනි පන්දුවෙන් මොහොමඩ් අමීර් (0) දවා ගත්තේය. පන්දු 39කට මුහුණදුන් රියාස් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 45ක් ඉනිමට එක් කළ අතර ලකුණු 266දී සර්ෆ්‍රාස් දුවද්දි දැවී යෑමත් සමග ඉනිම නිමාවට පත්විය. ඔහු පන්දු 48කදී හතරේ පහරක් සමගින් ලකුණු 40ක් රැස් කළේය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඩේවිඩ් වෝනර් වේගවත් ඉනිමක් දියත් කරමින් ඊයේ සිය 15 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ වාර්තාවූ 7 වැනි ශතකය මෙන්ම ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයකු වාර්තා කළ පළමු ශතකයද මෙය විය.

නායක ඒරන් ෆින්ච් සමගින් පළමු කඩුල්ලට පන්දු 133කින් ලකුණු 146ක් එක්කළ වෝනර්, ස්ටීවන් ස්මිත් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 43ක් එක් කළේය.

වේගවත් පිතිහරඹයක නිරතවූ නායක ෆින්ච් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 84කින් ලකුණු 82ක් ලබා සිටියදී ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මොහොමඩ් අමීර්ට පළමු කඩුල්ල ලබා දෙමිනි.

පන්දු 111කට මුහුණදුන් වෝනර් දැවී ගියේ ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙසිනි. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 242ක් විය. ලකුණු 107ක් වූ වෝනර්ගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාවට එරෙහිව අර්ධ ශතක රැස්කළ ඔහු ලකුණු 255ක් සමගින් මෙවර තරගාවලියේ පිතිකරුවන් අතර දෙවැනි තැනට පත්විය.

ස්මිත් ලකුණු 10කටත්, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 20කටත් වෝනර්ට පෙර දැවී ගියේ පිළිවෙළින් මොහොමඩ් හෆීස් සහ ශාහීන් අෆ්රිඩි හමුවේය.

ඉන් අනතුරුව 5 වැනි කඩුල්ලට ලකුණු 35ක් එක් කිරීමට ෂෝන් මාෂ් සහ උස්මාන් කවාජා සමත්වූ අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට නොහැකි වූහ.

ලකුණු 18ක් ලබා සිටි කවාජා 5 වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමගින් අවසන් කඩුලු 5 ලකුණු 19ක් තුළ බිඳ දැමීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මොහම්මඩ් අමීර් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත්තේ ඕවර 10කදී නිලකුණු ඕවර 2ක්ද සමගිනි. එය මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තාවූ හොඳම පන්දු යැවීමද විය.

 


නව අදහස දක්වන්න