පාස්කු ප්‍රහාරයේ වන්දි ප්‍රදානය 85%ක් අවසන් | දිනමිණ

පාස්කු ප්‍රහාරයේ වන්දි ප්‍රදානය 85%ක් අවසන්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම මේ වනවිට සියයට අසූපහකින් පමණ අවසන් කර තිබෙන බව හානි පූර්ණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා පැවසී ය.

ඒ අනුව මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් මේ වනවිට රජය ගෙවා ඇති සම්පූර්ණ වන්දි මුදල රුපියල් මිලියන 210.1 ක් බව කීවේ ය. බෝම්බ ප්‍රහාරය සිදු වූ දේවස්ථාන ත්‍රිත්වයේ හා හෝටල් 04 දී මරණයට පත් වූ දේශීය පුද්ගලයන් 175 ක් වෙනුවෙන් රුපියල් මිලියන 172.3 ක් ද තුවාල ලැබූ පුද්ගලයන් 321 ක් වෙනුවෙන් රුපියල් මිලියන 37.8 ක් ද මේ වනවිට ගෙවා ඇති බවත් මෙහි මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් අතර විදේශීය පුද්ගලයන් 43 දෙනකු ද ඇතුළත් විය යුතු බව පැවසූ අධ්‍යක්ෂවරයා දේශීය සහ විදේශීක පුද්ගලයන් සියලු දෙනාම ඇතුළත්ව මියගිය පුද්ගලයන් 285 ක් සහ තුවාල ලැබූවන් 481 ක් පමණ ඇතැයි නිගමනය කරන බවත් ප්‍රකාශ කළේ ය. මරණයට පත්වූ පවුල් වල නීතිමය ගැටලු සහ ඊට අදාළ අනිකුත් තත්ත්වයන් නිරාකරණය කිරීමෙන් අනතුරුව අනිකුත් පුද්ගලයන්ටද අදාල වන්දි ලබා දීමේ කටයුතු සිදු කරන බව වැඩිදුරටත් කීවේ ය.

විදේශීය පුද්ගලයන් 43 දෙනා අතරින් ජපන් ජාතික මියගිය පුද්ගලයෙක් සහ තුවාල ලැබූවන් දෙදෙනකුගෙන් තානාපති කාර්යයාල හරහා මේ වනවිට අයදුම්පත්‍ර ලැබී තිබෙන බවත් පෙන්වා දුන්නේ ය.

කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී බෝම්බ ප්‍රහාරය නිසා මියගිය පුද්ගලයන් 103 සඳහා රුපියල් මිලියන 103 ක් ද තුවාල ලැබූවන් වෙනුවෙන් රුපියල් මිලියන 22.975 ක් ද , කොච්චිකඩේ ශුද්ධවූ අන්තෝනි මුනිඳුනගේ දේවස්ථානයේ දී මියිගිය පුද්ගලයන් 31 වෙනුවෙන් රුපියල් මිලියන 29.825 ක් සහ තුවාල ලැබූවන් 32 ක් වෙනුවෙන් රුපියල් මිලියන 4.1 ක් ද , මඩකලපුව සියොන් දේවස්ථානයේ දී මියගිය පුද්ගලයන් 27 ක් වෙනුවෙන් රුපියල් මිලියන 25.1 ක් සහ තුවාල ලැබූවන් 61 ක් වෙනුවෙන් රුපියල් මිලියන 9.2 ක් ද , කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී මියගිය පුද්ගලයන් 4 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 4 ක් සහ තුවාල ලැබූවන් 4 දෙනෙක් වෙනුවෙන් රුපියල් 5 ලක්ෂ 50 000 ක් ද , සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මියගිය 4 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3.3 ක් සහ තුවාල ලැබූවන් 06 දෙනෙක් වෙනුවෙන් රුපියල් 3 ලක්ෂ 50 000 ක් ද, කිංග්ස්බරි හෝටලයේ දී මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් මිලියනයක මුදල සහ තුවාල ලැබූවන් 03 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 6 ක මුදලක්ද , දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ දී මියගිය පුද්ගලයින් 02 වෙනුවෙන් රුපියල් මිලියන 02 මුදලක්ද , දෙමටගොඩ පොලිස් විමර්ෂණ වලදී මියගිය පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන 03 මුදලක්ද ප්‍රදානය කර ඇත.

මේ අතර වන්දි ලබා දීමේදී විවිධාකාරයෙන් ගැටලු මතු වූ පවුල් 10 ක් පමණද මෙවැනි ගැටලු මතු වූ තවත් පවුල් සඳහා අදාල වාර්තා සකස් කිරීම් සිදු කරමින් පවතින බවත් සහ විදේශීය පුද්ගලයන්ට අදාළ තානාපති කාර්යයාල හරහා ලැබෙන අයදුම්පත්‍ර සකසා බලා එම කටයුතු සිදු කරන බවත් ආනන්ද විජේපාල මහතා පැහැදිලි කළේ ය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මිනුවන්ගොඩ සහ කුලියාපිටිය ප්‍රදේශ වල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් දේපල , ජීවිත හානි හා තුවාල ලැබූවන් වෙනුවෙන්ද වන්දි ලබා දීම සඳහා අදාල කටයුතු ආර්ම්භ කර පවතින බවත් ඒ මහතා කී ය.

ඒ යටතේ නාත්තන්ඩිය ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂ 03 ක මුදලක් ප්‍රදානය කර ඇති බවත් මරණ සහතිකය ලැබුණු පසු මිලියනයක මුදලම ලබාදීමට හැකි බවත් කී ඒ මහතා තුවාල ලැබූවන්ට අදාළව අයදුම්පත්‍ර 10 ක් ද සුළු හා සම්පූර්ණ වශයෙන් හානි වූ දේපල 820 ක් පමණ ද මේ වනවිට වාර්තා කර ඇති බවත් ඊට අදාළ තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත් ප්‍රකාශ කළේ ය. තක්සේරු වාර්තා ලැබීමෙන් පසුව වන්දි මුදල් ලබා දීමට හැකි බව ද කීය. එම ගැටුම් හේතුවෙන් මුස්ලිම් දේවස්ථාන 33 ක් පමණ හානි සිදු වී ඇති බවට වාර්තා වී ඇති බවත් ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු හමුදාව හරහා සිදු කිරීමටත් අදාළ මුදල් ලබා දීම තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ආමාත්‍යංශය මඟින් සිදු කරන බවත් වැඩිදුරටත් පැහැදිලි කළේ ය.


නව අදහස දක්වන්න