මඩකලපුව පෞද්ගලික සරසවිය රජයට පවරා ගැනීමේ හැකියාව අගමැති සොයයි | දිනමිණ

මඩකලපුව පෞද්ගලික සරසවිය රජයට පවරා ගැනීමේ හැකියාව අගමැති සොයයි

ශිරෝමි අබයසිංහ

මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල පනතේ 70 (F) වගන්තිය යටතේරජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතාට දන්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලේකම් සමන් ඒකනායක මහතාට ඊයේ (ජුනි 12) උපදෙස් දී තිබේ. අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ අයිතිකරුවන් පසුගියදා කළ ආකාරයේ ජනවර්ග සහ ආගමික කොටස් අතර අසමගිය ඇතිවන සුළු ප්‍රකාශ දිගින් දිගටම සිදු කරන්නේ නම්, විශ්වවිද්‍යාල පනතේ 70 F වගන්තිය යටතේ එකී හිමිකරුවන් විසින් පාලනය කරනු ලබන උසස් අධ්‍යාපන ආයතනය රජයට පවරා ගත හැකිදැයි සොයා බලන ලෙස මෙහිදී නීතිපතිවරයාගෙන් විමසීමට අගමැතිවරයා උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

එම පනතේ 70F වගන්තිය අනුව එවැනි උපාධි පිරිනමන ආයතනයක් මහජන සුභ සිද්ධිය වෙනුවෙන් රජයට පවරා ගැනීමට අවශ්‍ය යැයි අදාළ ඇමතිවරයා හඳුනා ගතහොත් ගැසට් පත්‍රයකින් නිකුත් කරන නියෝගයක් මගින් ගැසට් පත්‍රය නිකුත් කරන දිනයේ සිට එය රජයට පවරා ගත හැකිය.එම දිනයේ සිට දින තිහක් ඇතුළත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු බව එම වගන්තියේ සඳහන් වේ.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අරලියගහ මන්දිරයේදී පෙරේදා (11) පැවැති සාකච්ඡාවේදී

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කළේය. ජාතිවාදී කතා දැන්වත් නතර කළ යුතු බවත්,ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් එහිදී ඔහු පැවසීය.අප කටයුතු කළ යුත්තේ, ශ්‍රි ලාංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැගෙනහිර ආරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා යැයි ද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබිණි.


නව අදහස දක්වන්න