මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය සඳහා දින දෙයි | දිනමිණ

මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය සඳහා දින දෙයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

එහිදී ලංකා බැංකුවේ පාර්ලිමේන්තුව ශාඛාවේ සේවය කළ බැංකුව නිලධාරියෙකු වන රොහාන් ඕවිටිගලගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි.

මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විසින් නගන ලද හරස් ප්‍රශ්නවලට ද සාක්ෂිකරු පිළිතුරු ලබාදුන්නේය.

අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ඔක්තෝම්බර් මස 15 වන දාට කල් තැබුණි.

පසුගිය රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත් ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

 


නව අදහස දක්වන්න