පොසොන් ප්‍රඥාව! | දිනමිණ

පොසොන් ප්‍රඥාව!

රජුන් විසින් ශාසනය ආරක්ෂා කරන ලදී. ශාසනය විසින් රාජ්‍යත්වය නීත්‍යානුකූල කරන ලදී යනුවෙන් ‘උඩරට රාජධානිය’ කෘතියෙහි සඳහන් වේ. අතීතයේ සිට පැවැත එන සම්ප්‍රදාය එය වෙයි. ශාසනය රැකීම සඳහා වෙහෙර - විහාර ඉදි කළ යුතුය. ජනයා ආගමට නැඹුරු කළ යුතුය. ආගමික උත්සව අඛණ්ඩ ලෙස පැවැත්විය යුතුය. රටේ ජනතාව පාස්කු ප්‍රහාරයෙන් පසු වෙසක් උත්සවය අතහැර දැමූහ. එහෙත් රජය මැදිහත් වී ඊට ප්‍රාණය දෙන ලදී. වෙසක් උත්සවය වෙනදාටත් වඩා හොඳින් සැමරිණි. හෙට උදාවන පොසොන් පොහොය ද ඒ අයුරින් ම සැමරිය යුතුව තිබේ.

පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයාට වැදගත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසා ය. පළමු කාරණය නම්; ශ්‍රී ලංකාවට බුදුදහම දායාද වීම ය. දෙවන කාරණය නම්; මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීමය. මේ ඓතිහාසික සාධක දෙක සෑම පොසොන් පොහොයකම සිහිපත් කරනු ලැබේ. ශ්‍රී ලංකාවට බුදු දහම දායාද වීම සැලැකිය හැක්කේ සමාජයීය වෙනසක් හා චින්තනමය විප්ලවයක් හැටියට ය. මහින්දාගමනයෙන් පසු අපේ සමාජ - ආර්ථික රටාව ද බොහෝ සෙයින්ම වෙනස් වී තිබේ. රටේ අධ්‍යාපනය, කලාව, සංස්කෘතිය පෝෂණය වී ඇත්තේ බෞද්ධ දර්ශනයේ හරයත් පදනම් කරගෙන ය. බුදු දහමේ හරය ලෙස ගත හැක්කේ ප්‍රඥාවට මුල්තැන දෙමින් ගැටලු විශ්ලේෂණය කිරීම ය.

වෙසක්, පොසොන්, නත්තල් වැනි ආගමික උත්සව ශ්‍රී ලංකාවේ ජාතික උත්සව බවට පරිවර්තනය වී තිබේ. එහි අර්ථය වන්නේ ජාති බේද - ආගම් බේද නොසලකා සමස්ත ශ්‍රී ලාංකිකයන් ම මේ උත්සව සමරන බව ය. වෙසක් හා පොසොන් සමයේ දාන - ශීල - භාවනා වැඩසටහන්වලට මුල්තැන ලබාදීම අපගේ සිරිත වෙයි. පොසොන් සමයේ මේ හැරෙන්නට වන්දනාවේ යෑමත් සිදුවෙයි. වන්දනාව බහුල ලෙසින් සිදුවන්නේ අනුරාධපුරයේ මිහින්තලාවට ය. මිහින්තලාව හෙවත් මිස්සක පව්ව මිහිඳු හිමියන් වැඩම කළ ස්ථානය ලෙස සඳහන් වේ. අනුරාධපුරයේ ද, තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේ ද පොසොන් උත්සව දෙකක් පැවැත්වේ. මේ සඳහා දහස් ගණනින් ජනී ජනයා සහභාගී වෙති.

ර‍ටේ පවත්නා තත්ත්වයට අනුව උත්සව සඳහා බලපාන ප්‍රධාන සාධකය බවට පත් වී ඇත්තේ ආරක්ෂාව සැපයීම ය. පාස්කු ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ භීතිකාවක් සමාජය තුළ පවතී. වෙසක් උත්සවය සැමරීමටද එය බාධාවක් විය. එහෙත් රජය මැදිහත් වී උපරිම ආරක්ෂාවක් සපයා තිබේ. අනුරාධපුරයේ ආරක්ෂාවට පමණක් අට දහසක පොලිස් හමුදාවක් යොදා ඇති බව රජය පෙන්වා දෙයි. මීට අමතරව ත්‍රිවිධ හමුදාව ද ආරක්ෂක කටයුතුවල නිරත වෙති. වාහන ගාල් කිරීමේ ස්ථාන ආදිය වෙනම ලකුණු කොට පූර්ණ ආරක්ෂාව පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක වන බැවින් පොසොන් සැමරීමට කිසිවකුත් බිය විය යුතු නැත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ බිය හා සැකය තුරන්කොට පොසොන් උත්සවවලට සහභාගී වන ලෙස ය.

බෞද්ධ දර්ශනයේ උත්කෘෂ්ඨ ඉලක්කය වන්නේ බවුන් වඩා නිවන් මාර්ගය හෙවත් පෞද්ගලික විමුක්තිය සලසා ගැනීම ය. එහෙත් ප්‍රායෝගික බුදුදහම තුළ සමාජයේ සත්පුරුෂයකු ලෙස ජීවත්වන ක්‍රමවේදය ද උගන්වනු ලැබේ. සත්පුරුෂයා යනු පන්සිල් රකින තැනැත්තා ය. ඒ හැරෙන්නට සත් පුරුෂයකු සතු තවත් කරුණු හතක් දක්වා ඇත. එනම්; මාපියන්ට සැලැකීම, වැඩිහිටියන්ට සැලැකීම, ප්‍රිය වචන කතා කිරීම, කේලාම් නොකීම, දන්දීම, ඇත්ත කතා කිරීම හා ‍කෝපයට පත් නොවීම ආදී වශයෙන් ය. සත් පුරුෂයකු වන කිසිවකු සමාජයට බරක් වන්නේ නැත. සමාජයට වදයක් වන්නේ ද නැත. මේ ඉගැන්වීමට අනුව පොසොන් වන්දනාවේ යෙදෙන බැතිමතුන් සත්පුරුෂයන් ලෙස හැසිරීම වැදගත් ය.

අපට වාර්තා වී ඇති අන්දමට මේ පොසොන් සමය තුළ පෙරහර පැවැත්වෙයි. දන්සල් පැවැත්වෙයි. තොරණ ඉදිවෙයි. භක්ති ගීත ගායනා කැරෙයි. පූජා පැවැත්වෙයි. වන්දනා ගමන් සංවිධාන වෙයි. මේ තත්ත්වය තුළ අනතුරුවලට ඇති ඉඩ ප්‍රස්ථා ද වැඩි වෙයි. වාහන අනතුරු සිදුවිය හැකි ය. ගැටුම් ඇතිවිය හැකි ය. දියේ ගිලීම් සිදුවිය හැකි ය. මේවා සිදුවන්නේ අපරීක්ෂාව හා නොසැලකිල්ල නිසා ය. රථවාහන පොලීසිය ලබා දී ඇති උපදේශනවලට අනුව ක්‍රියා කරන්නේ නම්; වාහන අනතුරු හෝ දියේ ගිලීම් හෝ ඇති වන්නට හේතුවක් නැත. පුද්ගලයන් ගැටුම් ඇතිකර ගන්නේ අධික කෝපය හා ඉවසීමක් නැතිකම නිසා ය. සත් පුරුෂයා ඉවසීම ප්‍රගුණ කරයි. කෝපය වළක්වයි.

උත්සව සමයේ ද, වන්දනා අවස්ථාවලදී ද සිදුවිය හැකි තවත් විනාශයක් වන්නේ පරිසර හානිය යි. වන්දනා නඩ ප්ලාස්ටික් බෝතල් හා සිලි කවර තොග පිටින් ගෙන ගොස් පූජනීය ස්ථානවලට අතහරින්නේ නම්; එම වන්දනාව යහපත් එකක් වන්නේ නැත. වන්දනාවේ යන අතර මත්පැන් පානයකොට බෝතල් පාරට වීසි කරන්නේ නම්; එම වන්දනාව ද යහපත් එකක් විය නොහැකි ය. පොසොන් සමයේ බැතිමතුන් ආරක්ෂා කරගත යුතු ප්‍රධාන සාධකය වන්නේ යහපත් චර්යාව යැයි පෙන්වා දිය හැකි ය. බුදුදහම පමණක් නොව ලොව පවතින සියලු ම ආගම් ද යහපත් චර්යාව අපේක්ෂා කරයි. කෙනකුගේ හැසිරීම තව කෙනකුට හිරිහැරයක් නම්; එතැන යහපත් හැසිරීමක් නැත. බෞද්ධයා විශේෂයෙන්ම යහපත් හැසිරීමට මුල්තැන දිය යුතුය.

අප මුලින් ද සඳහන් කළ පරිදි බුදු දහමෙහි හරය වන්නේ සිතා - විමසා කටයුතු කිරීම ය. බුද්ධියට හෙවත් ප්‍රඥාවට මුල් තැන දීම එයින් අපේක්ෂා කෙ‍රේ. ප්‍රඥාව සමාජ ජීවිතය සඳහා යොදා ගන්නේ නම්; ආගමික බේද ඇතිවන්නේ නැත. භාෂා බේද හෝ ජාති බේද හෝ ඇතිවන්නේ නැත. පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ සමාජය ප්‍රඥාවට මුල්තැන දී ක්‍රියා කළේ ද යනු ගැටලුවෙකි. සමාජය එසේ ක්‍රියා කළේ නම්; වයඹ ගැටුම් ඇතිවන්නේ නැත. මිනුවන්ගොඩ කඩවලට පහර දෙන්නේ නැත. උපවාස හෝ වෙනත් කලබැගෑනි ඇතිවන්නේ ද නැත. රටේ නායකයන් පවා ඒ බව වටහාගත යුතුය. පොසොන් සමය යනු බුදුදහම අපට දායාද වූ කාලය යි. එය සිහිපත් කළ යුත්තේ බෞද්ධ දර්ශනයේ හරයට වඩාත් සමීප වීමෙන් ය. මේ පොසොන් සමයේ ප්‍රඥා අවදි කරගන්න. ඒ අනුව ජීවන චර්යාවන් සකස් කර ගන්න! පොසොන් සමය අර්ථවත් කාලයක් වන්නේ එවිට ය.


නව අදහස දක්වන්න