ආසියාවේ අභිමානය! | දිනමිණ

ආසියාවේ අභිමානය!

ආසියාවට, මධ්‍යම ආසියාවට හා දකුණු ආසියාවට අතිශයින්ම වැදගත් සමුළු දෙකක් කිර්ගිස්ථානයේදී හා තජිකිස්ථානයේදී පැවැත්විණි. කිර්ගිස්ථානයේදී පැවැත්වූයේ ‘ෂැංග්හායි’ සමුළුවයි. එය හැඳින්වෙන්නේ ආසියානු නායකයන්ගේ එකමුතුව හැටියටය. තජිකිස්ථානයේදී පැවැත්වූයේ ‘සිකා’ සමුළුවයි. එය හැඳින්වෙන්නේ ආසියානු රටවල් අතර විශ්වාසය හා සහයෝගීතාව ගොඩනඟන කලාපීය සමුළුව හැටියටය. ලෝක දේශපාලනය විමසන කෙනකුට ප්‍රධාන සාධක දෙකක් මෙහිදී සිහිපත් වනු ඇත. පළමු සාධකය වන්නේ ආසියාවේ ආර්ථිකය බිඳ දැමීම සඳහා අමෙරිකාව ප්‍රමුඛ යුරෝපා ජාතීන් සූක්ෂ්ම වැඩසටහන් ගණනාවක් ගෙන යන බවය. දෙවන සාධකය වන්නේ ආසියාවේ කලාප කිහිපයක උණුසුම් තත්ත්වයක් ගොඩනැඟී ඇති බවය.

ලෝක ආර්ථික විශේෂඥයන්ගේ පුරෝකථනවලට අනුව ඉදිරි සියවස අයත්වන්නේ ආසියාවටය. එහෙත් එය ජයග්‍රහණයක් බවට පරිවර්තනය වන්නේ ප්‍රධාන සාධක තුනක් සාර්ථකව හසුරුවා ගැනීමෙන් පමණි. පළමු සාධකය වන්නේ ආසියාවේ ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගැනීම ය. දෙවන සාධකය වන්නේ ආසියාවේ මානව සම්පතින් නිසි ප්‍රයෝජන ගැනීමය. තෙවන සාධකය වන්නේ ලෝක වෙ‍‍ළෙඳාමේදී ආසියාව භාවිත කරන උපාය මාර්ගයන් ය. මේ සාධක තුන හරියාකාර ලෙස මෙහෙයවා ගැනීමට නම්; ආසියාවේ සියලු රාජ්‍යයන් සාමූහිකව ක්‍රියාකිරීම අවශ්‍ය වේ. එලෙසම කලාපය තුළ සාමය හා දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගත යුතුය. ඒ සඳහා ඉහත සමුළු දෙකම උපයෝගී කරගත යුතුය.

ෂැංග්හායි සමුළුවේදී සාකච්ඡාවට ගැනුණු ප්‍රධාන මාතෘකා හතරක් තිබේ. එක; දේශසීමා ආරක්ෂාව පිළිබඳ සංවාදයයි. දෙක; ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පියවර ගැනීමය. තුන; ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමය. හතර; ආසියාවේ ආර්ථිකය හා වෙළෙඳාම වර්ධනය කිරීමය. ඉහත මාතෘකා හතර ආසියාව මුහුණදෙන ගැටලුවල ස්වාභාවය වටහාගැනීමට ඇති හොඳම මාර්ගය වේ. දේශසීමාව පිළිබඳ ගැටුම් ආසියාවේ රටවල් ගණනාවකට තිබේ. ත්‍රස්තවාදය හා ඉස්ලාම් අන්තවාදය ආසියාවේ රටවල් ගණනාවක කටයුතු අවුල්කර තිබේ. ශ්‍රී ලංකාව ද ඊට ගොදුරු වූ රාජ්‍යයෙකි. ආසියානු ආර්ථිකය හා වෙළෙඳාම වර්ධනය කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ. ඒ සියල්ල සඳහා වැදගත් සංවාදයක් යථෝක්ත සමුළු දෙකේදී ඇතිවිය.

ආසියාවේ නායකයින් හැටියට අපගේ පළමු අවධානය යොමුවන්නේ රුසියාවට, චීනයට හා ජපානයටයි. 2017න් පසු ඉන්දියාව හා පාකිස්ථානය ද ෂැංග්හායි සමුළුවේ පිළිගැනීමට ලක්වී ඇත. ඉන් හැඟෙන්නේ ආසියාවේ නායකත්වය සඳහා ඉන්දියාව හා පාකිස්ථානය ද තෝරා පත්කරගෙන ඇති බවය. මෙවර සමුළුවේදී ආසියාවේ ප්‍රධාන නායකයන් එක මේසයක සිට සාකච්ඡා පැවැත්වීම ඓතිහාසික තත්ත්වයකි. රුසියාවේ නායක පුටින් මහතා, ජපානයේ අගමැති ෂෙන් සේ අබේ මහතා, චීනයේ නායක ෂී ජින් පින් මහතා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා, පකිස්ථානු නායක ඉම්රාන් ඛාන් මහතා සාමූහිකව ආසියාවේ ප්‍රශ්න විග්‍රහකර ගැනීම ඉතා වැදගත් ය. සමුළුවට පෙර ජපන් අගමැතිවරයා ඉරානයට ගොස් ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළේය. එය ඉතා වැදගත් සිද්ධියකි. ආසියාවේ කිසිදු රාජ්‍යයක් හුදකලා කිරීමට ඉඩ නොලැබෙන බව එම සිද්ධියෙන් පෙනී යයි.

ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන නාවුක මාර්ගය අද පවතින්නේ අර්බුදකාරී තැනකය. තෙල් නැව් දෙකකට මේ වන විටත් ප්‍රහාර එල්ලවී ඇත. එය පිපිරීමක් ලෙස සඳහන් වන්නේ වුව ප්‍රහාරයක් බව පැහැදිලිය. මේ සිද්ධිය අනතුරු හැඟවීමක් ලෙසද සැලකිය හැකිය. ඉහත මාර්ගය යුද කලාපයක් බවට පත්වුවහොත් ලෝක ආර්ථිකය බලවත් අර්බුදයකට පත්විය හැකිය. අමෙරිකාව ඉරානයට චෝදනා කරයි. ඉරානය අමෙරිකාවට චෝදනා කරයි. ඊයේ සිට මහා බ්‍රිතාන්‍යය ද ඉරානයට චෝදනා කරන්නට පටන් ගෙන තිබේ. එහෙත් ඇත්ත තත්ත්වය මෙතෙක් හෙළිදරව් වී නැත. තෙල් ප්‍රවාහනය ඇදවැටුණහොත් එහි වැඩි බලපෑම් සිදුවන්නේ ආසියාවට ය. ශ්‍රී ලංකාවට ද එම බලපෑමෙන් ඉවත්විය නොහැකිය.

ඉහත නාවුක මාර්ගය විහිදී ඇත්තේ ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් කිහිපයක් ඔබ්බෙන් ය. තෙල් ප්‍රවාහනයේ යෙදෙන බොහෝ නාවුක යාත්‍රා ශ්‍රී ලංකාවේ වරායවලට පැමිණ පහසුකම් ලබාගනී. එය අපගේ සේවා ආර්ථිකයට බලවත් ශක්තියකි. සංචාරක කර්මාන්ත‍ය සේම අපගේ සේවා ආර්ථිකය ද බිඳ වැටීමකට ලක්වුව හොත්; ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බලවත් අසීරුවට පත්වනු ඇත. මේ ගැටලු ඉහත සමුළු දෙක ඔස්සේ විසඳාගැනීම ඉතා වැදගත්ය.

ඉහත සමුළු දෙකෙන් සිකා සමුළුව ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වෙයි. ආසියාවේ විශ්වාසය හා සහයෝගීතාව තහවුරු කිරීම එහි අරමුණ ය. රටවල් විසිහතක් එහි සාමාජිකත්වය දරති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සමුළුවේදී විශේෂ දේශනයක් පැවැත්වීය. එය ආසියානු නායකයන්ගේ අවධානයට ලක්වූ දේශනයකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන කරුණු තුනක් මෙහිදී අවධාරණය කළේය. පළමුවන්න ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම ය. දෙවන්න ආසියාවේ දිළිඳුකම පිටුදැකීම ය. තෙවන්න ආසියාවේ අභිමානය ආරක්ෂාකර ගැනීම ය. මේ සාධක තුන අභියෝගයක් ලෙස ගතහොත් ඒවා ජයග්‍රහණය නොකොට ස්ථාවර ආසියාවක් ගොඩනැඟිය නොහැකි ය. ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම ආසියාවේ රටවල් ගණනාවකට එල්ලවී තිබේ. ශ්‍රී ලංකාවද ඊට ඇතුළත් ය. දිළිඳුකම ද කලාපය තුළ ශීඝ්‍රයෙන් පැතිරයයි. ඉන්දියාව පවා එහි ප්‍රධාන ගොදුරක් බවට පත්වී ඇත.

ජනාධිපතිවරයා මෙහිදී ආසියානු නායකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියේ ආසියාවේ බලය බිඳ දමන්නට ඉඩ දෙන්න එපා යන්න ය. එය වැදගත් ඉල්ලීමකි. ආසියානු නායකයන්ට එය කළ හැකිය. රුසියාව, ජපානය, චීනය, ඉන්දියාව එහි ප්‍රමුඛ රටවල් ලෙස සැලකිය හැකිය. නිදසුනක් ගතහොත් සඳ තරණයට එක්වූ රටවල් හතරක් ලෝකයේ පවතී. ඒ අමෙරිකාව, රුසියාව, චීනය හා ඉන්දියාව වශයෙන් ය. මේ රටවල් හතරෙන් තුනක්ම අයත්වන්නේ ආසියාවට ය. ලෝකයේ ස්වාභාවික සම්පත් වැඩිම කලාපය ද, ඉහළම මානව සම්පත් ඇති කලාපය ද ආසියාව වන්නේ ය. ආසියාවට අභිමානයෙන් නැඟී සිටිය හැකිය. ශ්‍රී ලංකාව ද එහි හවුල්කාරයකු වීම වැදගත් ය.


නව අදහස දක්වන්න