රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ රැක ගනිති | දිනමිණ

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ රැක ගනිති

මෙරට පාසල් රග්බි පිටියේ පැරණිතම මෙන්ම ප්‍රමුඛතම රග්බි තරගය ලෙස සැළකෙන බ්‍රැඩ්බි පළිහ සඳහා වන කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විදුහල් අතර 75 වැනි තරගයෙන් ජය හිමිකර ගැනීමට රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

අදියර දෙකකින් සමන්විත වු මේ තරගයේ රාජකීය පිල ජයගත්තේ ලකුණු 47-41ක් ලෙසිනි. අදියර දෙකකින් සමන්විතව පැවැත්වෙන මේ තරගයේ සමස්ත ලකුණු සංඛ්‍යාව මත ජයග්‍රාහකයන් තීරණය කෙරේ.

පෙරේදා රාජකීය විදුහල් පිටියේ පැවැති දෙවැනි අදියරේදී රාජකීයයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 24-13ක් ලෙසක් ලෙස එම අදියර ජයගත්හ. එහෙත් පල්ලේකැලේ පැවැති පළමු අදියර ලකුණු 34-17ක් ‍ලෙස දැවැන්ත ජයක් අතර ගැනීමට රාජකීය පිල සමත්ව තිබූ අතර ඒ හේතුවෙන් සමස්ත ලකුණු 47-41ක් ලෙස රාජකීය විදුහල ඉදිරියෙන් පසුවිය.

රාජකීය විදුහල් පිල අඛණ්ඩව බ්‍රැඩ්බි පළිහ හිමිකරගත් සිවුවැනි අවස්ථාව මෙය වෙයි. 2015 වසරේ ත්‍රිත්වයන් බ්‍රැඩ්බි කිරුළ අත්කරගත් අතර 2016 වසරේ ත්‍රිත්ව සහ රාජකීයයෝ සම ශූරයන් වූහ. අනතුරුව 2017 වසරේ තමන් යටතට පළිහ ගත් රාජකීය විදුහල මේ දක්වා ශූරයන් ලෙස සිටී. ඔවුන් මේ පළිහට හිමිකම් කී 34 වැනි අවස්ථාව මෙයයි.

පෙරේදා තරගයේ පළමු අර්ධය නිමාවනවිටත් ලකුණු 12-3ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් ව සිටි අතර දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව පිල තවත් ලකුණු 12ක් එක්කර ගනිද්දී රාජකීය විදුහලට රැස්කර හැකිවූයේ ලකුණු 10ක් පමණි.

තරගයේ දෙවැනි මිනිත්තුවේදීම දඬුවම් පහරක් සමගින් රාජකීය ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට දුලාන් ගුණවර්ධන සමත්වූයේ දඬුවම් පහරක් සමගිනි. එහෙත් 23 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ත්‍රිත්ව ක්‍රීඩක දිනේන්ද්‍ර රත්වත්ත උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත්වූ අතර මිලිඳු ජයසුන්දර එහි ප්‍රවර්තනය සාර්ථක කරමින් ත්‍රිත්ව විදුහල 7-3කින් ඉදිරියට ගෙන ගියේය. පළමු අර්ධ නිමාවීමට මොහොතක් තිබියදී යළි ක්‍රියාත්මක වූ මිලිඳු තවත් උත්සාහක දිනුමකින් ත්‍රිත්ව විදුහල 12-3කින් ඉදිරියට ගෙන ගියේය.

දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව ලකුණු සංඛ්‍යාව තවත් ඉදිරියට ගෙන ගිය ලෙනොක්ස් කල්‍යානරත්න උත්සාහක දිනුමකින් ත්‍රිත්වයට තවත් ලකුණු 5ක් එක්කළ අතර රජින්ද ජයසූරිය උත්සාහක දිනුම් ද්විත්වයක් මගින් රාජකීය ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉදිරියට ගෙන ගියේය. (17-13)

තරගය අවසන් වීමට මොහොතක් තිබියදී ක්‍රියාත්මක වූ කුජන කුලංතුංග උත්සාහ දිනුමක් වාර්තා කළ අතර මිහිරංග සුබසිංහ එය සාර්ථක ප්‍රවර්තනයක් ලෙසට පරිවර්තනය කරමින් ලකුණු බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියර නිමා කළේ ලකුණු 24-13ක් ලෙස ත්‍රිත්ව පෙරට ගනිමිනි.

එහෙත් පළමු අදියර ලකුණු 34-17කින් ජය ගැනීමට රාජකීයයෝ සමත් සිටි අතර සමස්ත ලකුණු අනුව බ්‍රැඩ්බි පළිහ රාජකීයයන් සතු විය. තරගයේ වීරයා ලෙස ත්‍රිත්ව විදුහලේ රෙෂාන් බණ්ඩාරනායක සම්මාන ලැබීය.

මේ තරගය නැරඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියේය. මේ අවස්ථාවට විදුලිබල සහ ව්‍යාපර සංවර්ධන ඇමැති රවී කරුණානායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන රවුෆ් හකීම්, ඩී.එම්. ස්වාමිනාදන් මහත්වරුන් සමගින් රාජකීය සහ ත්‍රිත්ව විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය - තිලක් පෙරේරා

 

 

නව අදහස දක්වන්න